රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තා අධ්‍යනය කිරීමේදී මෙරට අයවැය පරතරයට වඩා වැඩි මුදලක් වංචා කිරීම මෙන්ම සොරකම් කිරීම සිදු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
මෙම වසරේ ජූලි 20, ඔක්තෝම්බර් 06 සහ 07 යන දිනයන් හී රජයේ ගිණුම්කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්ථා ත්රිත්තවයකට අදාලව අද (09දා) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"ගිණුම් කාරක සභාව ජනතාවගේ මුදල් හරියාකාරව රාජ්‍ය ආයතන පාවිච්චි කරලා තිබෙනවාද, ඒවා කාර්යක්ෂමව යොදවාගෙන තිබෙනවාද, ප්‍රතිපල දායක ලෙස භාවිතා කරලා තිබෙනවාද කියන කාරණය නිරන්තරයෙන් විමර්ශනයට ලක්කරනවා. මම ඒ කාරක සභාවට ගියාම පුදුම වුණා.
මේ කාරක සභාවේ පරික්ෂාවට ලක්කරන 840 අතරින් ස්වල්පයයි අපිට බලන්න පුලුවන් වුනේ. බලපු ආයතන විශාල ගණනක මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වාර්තා වෙනවා. එක්කෝ ඒවා අක්‍රමිකතා. එහෙම නැතිනම් පවතින නීතියෙන් රිංගා ගිහින් කරන විවිධ වූ වංචා. එහෙමත් නැතිනම් මේ මහජන දේපල යම් ආකාරයක වැරදි ලෙස පරිහරණය කරන්න උපයෝගී කරගෙන තිබෙන ආකාරය. මේවා ගැන විමර්ශනය කරලා වාර්ථා කරනකොට අර බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි.
කිසිදු දෙයක් සිදු වෙන්නෙ නෑ. උදාහරනයක් ලෙස කියන්න පුලුවන් නොරොච්චෝලේ විදුලි බලගාරයට ගල්අගුරු ගෙන්වීම. සිලෝන් කෝල් සමාගම ලංකා ආණ්ඩුවේ ආයතන ගණනාවක සංයුතියක් තිබෙන රාජ්‍ය ආයතනයක්. 2016 සිදුවීසත් මේක. 66 අවස්ථාවක් සිදු වෙලා තිබෙනවා.
මේ ගල් අගුරු ගේනකොට ගෙවිය යුතු බදු මුදල් ගෙවලා නෑ. මේ වැට් බදු වංචාව රුපියල් මිලියන 187ක්. ඒත් මේ මිලියන 187 අය කරන්න නියම කරනවා වෙනුවට එතනදිත් කරලා තිබෙන්නේ පරණ සෙල්ලමමයි. ඒක තමයි මේක දඩයක් ලෙස නියම කරලා ඔවුන්ගෙන් අය කර ගැනීම හරහා ඒකෙන් 70%ක් නැවතත් නිලධාරීන්ට යනවා.
මේ රටේ දේශපාලඥයන්ට චෝදනා කරනවා හොරකම් කරනවා කියලා. දේශපාලඥයෝ මැති ඇමතිවරු වංචා කරනවා කියලා කියනවා. මේක අස්සේ මේ පිළිබඳ කෝප් එකෙත් වාර්ථා වෙනවා. කෝපා එකෙත් මේක වාර්ථා වෙනවා. මෙවැනි සිදුවීම් සිය ගණනක් තිබෙනවා. මේ සිදුවීම් එකිනෙකට ගත්තොත් අපේ අයවැය පරතරයට වඩා ලොකු මුදලක් වංචා වෙනවා. හොරකම් වෙනවා." යනුවෙන්ද සඳහන් කළේය.