කොරෝනා වසංගතය නැවත අපගෙන් ඈත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් යොදමින් ඔහු මේ බව සඳහන් කරයි.
දේශීය දේ අගයමින් දේශීය ආහාර නිපදවමින් රට ස්වයංපෝෂිත කළ යුතු බවත් සෑම දෙනාම එකමුතුව කටයුතු කිරීමෙන් අභිමානවත් ශ්රී ලංකාවක් ගොඩ නැගීම තම එකම අභිප්රාය බවත් ඔහු සඳහන් කරයි.
"ලාංකීය ජන සංස්කෘතිය හා සොබාදහම අතර ඇති බැඳීම ඈත අතීතයේ සිටම ජන ජිවිතයට බද්ධ වී ඇති අතර, ගමයි-පන්සලයි වැවයි-දාගැබයි සංස්කෘතිය සොබාදහම සමග මනා වූ බැඳීම නිරුපනය කරන සංකේතයකි.
අතීතයේ ශ්රී ලාංකික ගැමියන් සොබාදහම ආත්මය කරගෙන ජන ජිවන රටාව පවත්වාගෙන ගිය අතර, මෑත කාලීනව මානව ක්රියාකාරකම් නිසා සොබාදහම වැනසී ගියද, කොරෝනා වසංගතය නැවත අපගෙන් ඇත්ව ගිය සොබාදහම හා මනුසත් බව ගැන මතකාවර්ජනය කර ඇත.
මා ලාංකීය සංස්කෘතියට හා ගැමි ජිවන රටාවකට ගරු කරන පුරවැසියකු ලෙස කෘෂි කර්මාන්තය හා ගෙවතු වගාව කෙරෙහි ඇත්තේ මහත් ඇල්මකි. අප දේශීය දේ අගයමින් දේශීය ආහාර නිපදවමින් රට ස්වයංපෝෂිත කල යුතු වේ.
අම සැවොම එකමුතුව කටයුතු කිරීමෙන් අභිමානවත් ශ්රී ලංකාවක් ගොඩ නැගීම මාගේ එකම අභිප්රායයි."



