රත්නපුර දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ඡන්ද අපේක්ෂකයන් පස් දෙනෙකුගේ පෝස්ටර්, බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් සහ ඒවා ප්රවාහනය කළ වාහන දෙකක් 05දා ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කෑල්ල හන්දියේ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව කොළොන්න පොලීසිය කියයි.
කොලොන්න පොලීසිය සහ එස්ටීඑෆ් නිලධාරින් එක්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පැවසුවේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයන් තිදෙනෙකුගේ සහ අපේක්ෂිකාවන් දෙදෙනෙකුගේ පෝස්ටර් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි. වෑන් රථයකින් සහ කැබ් රථයකින් ඒවා ගෙන යමින් තිබුණි.
එකී පෝස්ටර් අතර මාතර දිස්ත්රික්කයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ද තිබූ බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවට ගැනීම සිදුකළ ස්ථානයට කිලෝමීටර් කිහිපයකට නුදුරින් මාතර දිස්ත්රික්ක මායිම පිහිටා ඇත. රත්නපුර අපේක්ෂකයන්ගේ පොස්ටර් බෙදා අවසන්වු පසු මාතර දිස්ත්රික් අපේක්ෂකයාගේ පෝස්ටර් මාතර දිස්ත්රික්කයේ බෙදීමට ගෙන යමින් තිබූ බවට සැකකරන්නේ යැයිද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බුලූතොට පිටකන්ද, ඇඹිලිපිටිය වීරසිංහපුර, කොලොන්න කපුකන්ද සහ බුත්කන්ද බොරලූවෙගෙඅයින යන ප්රදේශවල පදිංචිකරුවන් සිවු දෙනෙකි. පෝස්ටර් සහ ඒවා ප්රවාහනය කළ වාහන දෙක ද කොලොන්න පොලීසිය භාරයට ගත් බවද පොලිසිය පැවසුවේය. කොලොන්න පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
අජිතලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ නානායක්කාර
