සමගි ජන බලවේගයේ කොළඹ උද්ඝෝෂයට සහභාගී වීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹට ගමන් කරමින් තිබූ බස් රථ කීපයක් අද (16දා) නොච්චියාගම ප්‍රදේශයේ දී පොලීසිය ආපසු හරවා යැවීමට කටයුතු කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
පළාත් සංචරණ සීමා ඉවත් කර තිබෙන අවස්ථාවක තමන්ට කොළඹට යෑමට කිසිම තහනමක් නැතැයි කියමින් මෙම පිරිස් විරෝධය පල කළ අතර, කොළඹට නොයන ලෙසට උසාවි නියෝගයක් තිබේ නම් එය පෙන්වන ලෙසටද විරෝධතාකරුවෝ පොලීසියෙන් මෙහිදී ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා.
"මේ රටේ ජනතාවට අද වෙන කොට ඇති වෙලා තිබෙන ගැටලු ගැන අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හමුවෙලා එතුමා සමග කතා කරන්න තමයි අද අපි මේ කොළඹට යන්නෙ, එහෙම නැතුව හෙට ආණ්ඩුව බලය අල්ල ගන්න නෙමෙයි. මේ රටේ හැටනම ලක්ෂයක් ජනාධිපතිවරණයට ඡන්දය දුන්නා, තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුට දුන්නා ඒ ඡන්ද වල අද කිසිම වටිනාකමක් නැහැ.
මේ පළාතේ ජීවත් වෙන ගොවි ජනතාව සියයට හැටකට වැඩිය ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. හැබැයි ඡන්දෙ දීපු ගොවියාට ආණ්ඩුව සැලකුවේ අමානුෂික විදිහට. අද වන විට පොහොර, වල් නාශක, කෘමිනාශක කිසි දෙයක් හොයා ගන්න නැහැ . ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ සිට කිසිම ජනාධිපතිවරයකු යටතේ මෙවැනි තත්වයක් ඇති වුනේ නැහැ. පලවෙනි වතාවට ගොවියන්ගෙ කණට ගහපු ආණ්ඩුවක් තමයි ගෝඨාභයගේ ආණ්ඩුව,
මේ වන විට හාල්, සිමෙන්ති,ගෑස් පෝලිම් රටපුරා දැන් අලුත්ම පෝලිම තමයි ඉන්ධන පෝලිම, දැන් පෝලිම් යුගයක් ඇති වෙලා ඉවරයි.අද අපි යන ගමන පොලිසියේ මහත්තුරු හරස් කරා, එක රැස්වීමක් වෙනුවට රැස්වීම් සිය ගානක් අද මේ වගේ රටපුරා තියන්න, ගෝඨාභය මහත්තයාගේ හෙංචයියෝ අවස්ථාව දීලා තියෙනවා."





