හමුදාපති කෙනෙක් නෙවෙයි කවුරු වුණත් අපරාධයක් කළා නම් අනිවාර්යෙන් ඒ වගේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවැසූයේ බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඊයේ(13) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සරත් ෆොන්සේකා මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී.අලවතුවල, අශොක් අබේසිංහ, දිලිප් වෙදආරච්චි සහ සුජිත් සංජීව පෙරේරා යන මහත්වරුද එක්වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය.
“රන්ජන් රාමනායකට සමාවක් ලබා දෙන්නැයි අපේ විපක්ෂනායකතුමා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉල්ලීම කිහිපවතාවක්ම අපි ජනාධිපතිතුමාට කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දේශපාලනයෙන් තොරව ගෞරවණීය ආකාරයට ඒ වරප්‍රසාදය රන්ජන් රාමනායකට ලබාදෙයි කියලා.
නීතිය ගැන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපේ යහපාලන ආණ්ඩුව ආවේ නීතිය ගේන්න කියලා. නමුත් අපේ හිටපු නායකයොන්ගේ දුර්වලකම නිසා ඒක සාර්ථකව කරන්න බැරි වුණා. ඒ නිසා ජනතාව කලකිරීමට පත්වුණා. වර්ථමාන රජයෙත් ඒ විදියටම තමයි වැඩ කටයුතු කෙරෙන්නේ” යැයිද කීවේය.