අනුරාධපුර තිදරු පියෙකු තියුණු ආයුධවලින් කපාකොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (08දා) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව පුල්ලෙයාර් හා නාලක බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔවුන් දෙදෙනා පමණක් ඝාතනය සිදුකළ බව අත්අඩංගුවට පත් අවස්ථාවේ පොලීසියට පාපොච්චාරණයකර තිබුණද,මෙම ඝාතනය සඳහා තවත් පිරිසක් සම්බන්ධවී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන සිටින අතර, ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා යොදාගත් අඩි දෙකක් පමණ දිග ලී මිටක් සහිත කඩු දෙකක් යහලේගම වැවේ ගිල්වා තිබියදී පොලිස් ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් විසින්සොයාගනු ලැබූ අතර, ඝාතනය සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය යහලේගම පිහිටි ප්‍රධාන සැකකරුගේ මිතුරෙකුගේ නිවසක සඟවා තිබියදී පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වන්නියම්කුලම, විජයපුර පදිංචිව සිටි තිදරු පියෙකුවූ හෙට්ටිආරච්චිගේ ප්‍රසන්න හෙට්ටිආරච්චි (45) ව්‍යාපාරිකයායි.
මීට මාස දහකට පමණ ඉහතදී ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ව්‍යාපාරිකයාගේ හා ඝාතකයන්ගේ පවුල් අතර ගැටුමක් ඇති වී තිබෙන බවත්, පසුව මරණකරු විසින් ඝාතනය මෙහෙයවූ පුද්ගලයාගේ එක් අතකට කැපුම් තුවාල සිදුකිරීමත් සමග දෙපාර්ශ්වය අතර පැවැති දරුණු ගැටුම උග්‍ර අතට හැරී ව්‍යාපාරිකයා කපා කොටා මරා දමන බවට තර්ජනය කර තිබූ බවත් පොලීසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන අද (09දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අනුරාධපුර බී.ජි. චතුරංග

