ළමා සාහිත්‍යයේ ස්වරූපය සැකසීමට දායක වෙමින් ළමා ලොවේ නොමැකෙන සටහන් තැබූ චිත්‍ර ශිල්පිනියක සහ ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහයන්ගේ අනූව වැනි ජන්ම දිනය මේ මස 31 වැනිදාට යෙදී තිබේ. එය නිමිති කර ගනිමින් එදින (31දා) සිට නොවැම්බර් මස 02 වැනිදා දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 'ආයුබෝ වේවා, අනූවට පා තබන සිබිල්' මැයෙන් නම් කර ඇති මෙම ප්‍රදර්ශනය, 31 වැනිදා සවස 4.30 සිට හා සෙසු දින දෙකෙහිදී උදෑසන 10.00 සිට සවස 7.30 වනතෙක් විවෘත කර තැබේ. මේ ඒ පිළිබඳ සටහන ඇය සමග කළ කතාබහකි.
Q වත්මන් ලාංකේය ළමා සාහිත්‍ය ගැන මොකද හිතන්නේ?
මම පරම්පරා හතරක ළමයින්ට චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ නිසා මම අනෙක් අයගේ සාහිත්‍ය විවේචනය කිරීම වැරැදියි. සදාචාරාත්මක නැහැ.
Q ඒත් ඔබේ අවධියේ ළමයා නෙමෙයිනේ අද ඉන්නේ. එහෙම නේද?
ඔව්. ඒක ඉතින් ඒ ඒ කාල අනුව වෙනස් වෙනවානේ. අනික තාක්ෂණය දැන් දියුණුයි. ළමයා ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. ඔවුන්ට ඉතා ඉහළ තාක්ෂණයක් තියෙන නිසා ක්ෂණිකව ඔවුන්ගේ වැඩ හිතන්නත් කලින් සිදුවෙනවා.
Q ඒ නිසාද ළමයින්ගේ චින්තනය මොට වෙලා තියෙන්නේ?
නැහැ. ළමයින් දැන් එදාටත් වඩා බුද්ධිමත්ව හිතනවා. ඔවුන්ට තියෙන්නේ නවීන අදහස්. ගැටලුව තියෙන්නේ ඔවුන්ට ඒ අදහස්වලට දෙමවුපියන් ඉදිරියට එන්න නොදීමක්. මොකද වැඩිහිටියන්ට අවශ්‍ය කරන්නේ ළමයින්ව තරගකාරී අධ්‍යාපන ක්‍රමයකට හුරුකර වීම. ඒත් කොයි කාලෙත් ළමයින් ළමයින්මයි. අනෙක දැන් ළමයින්ට ලෝකය ගැන විශාල දැනුමක් තියෙනවා.
Q හැබැයි ළමයින්ට අද අමතර පොත්පත් කියවන්නත් වෙලාවක් නැහැ?
පොත්පත් තියා සොබාදහම ඇසුරු කරන්නවත් අද ඔවුන්ට නිදහස නැහැ. ඒ තරමට ඔවුන්ගේ ළමා කාලය හොරකම් කරලා. ඔවුන්ගේ කැමැත්තත් අහිමි කරලා. දෙමවුපියන්ගේ වහල්ලු බවට ඔවුන්ව පත්කරලා.
Q ඒ වුණාට නව තාක්ෂණයත් එක්ක ළමයින් පොත්පත් කියවීමෙන් දුරස් වෙලා නේද?
ළමයි පොත්පත් කියවන්න අකැමැතියි කියන කතාව බොරුවක්. ඔවුන් කැමැතියි පොත්පත් කියවන්න. වැඩියෙන් කැමැතිත් පින්තූර පොත්වලට. ඒත් දෙමවුපියන් තමයි ඒ කැමැත්ත අහිමි කරලා තියෙන්නේ. මොකද ඔවුන් ළමා මනස හඳුනාගෙන නැහැ. ළමා මනෝ විද්‍යාව දන්නේ නැහැ. ඒත් ළමා සිතිවිලි හරිම වැදගත්. ඒ නිසා ඔවුන්ගේ අදහස්වලට ඉඩ දෙන්න ඕන.
Q කෙසේ නමුත් ළමා මනෝ විද්‍යාව හැදෑරූ ගුරුවරු තමයි බොහෝ පෙරපාසල්වල සහ ප්‍රාථමික පාසල්වල ඉගැන්වීමේ නියැළෙන්නේ?
ඒත් ගැටලුව තමයි ඔවුන්ගෙන් බොහොමයක් එම දැනුම ඉගැන්වීමේදී භාවිත නොකිරීම. ළමයින්ව ඔවුන්ගේ ළමා කාලය අනුව නිර්මාණය කරන්නෙත් නැහැ. අනෙක ඒ ගුරුවරු ළමයින්ගේ මතයට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ පිළිබඳ මටත් පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. අඩුම ගාණෙ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය තුළ අකුරු ලිවීම, ගණන් හැදීමවත් උගන්වන්නේ නැහැ කියලා දැන් දෙමවුපියන් දන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ගෙවීමට සරිලන අධ්‍යාපනයක්. නැතුව ලෝකය ගැන ඉගැන්වීම සිදුවෙනවද යන්න එයාලට වැඩක් නැහැ. ඒ නිසා පළමුව සැකසිය යුත්තේ දෙමවුපියන්ගේ මනස.
Q වර්තමානයේදී ළමා පොත් යන්නත් හුදු වෙළෙඳාමක් බවට පත්වෙලා නේද?
ඔව්. මටත් ඒ ගැන ආරංචි වුණා. දැන් මේවා බස් රථවල බාල අන්දමින් විකිණෙනවලු. අනික අන්තර්ගතයත් ඒවායේ ඉතා භයානකයි. ඒකයි බරපතළකම.
Q ඒ නිසා නේද ළමා සාහිත්‍ය කෘති සමීක්ෂණයකට ලක්කෙරෙන සමීක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කළ යුත්තේ?
අනිවාර්යයෙන්ම. හැබැයි ඊට ළමා මනස ගැන අවබෝධයක් ඇති පිරිසක් පත්විය යුතුයි. ඔවුන් හරහා තමයි මේ පොත් අනුමත විය යුත්තේ. ඒත් විදෙස් රටවල නම් මෙවැනි සාහසික තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි ඔවුන්ගේ රටවල මේ විදිහට මාළු විකිණෙනවා වගේ ළමාපොත් විකිණෙන්නේ නැත්තේ. මේක අපේ රටේ වැරැද්ද.
Q ළමා සාහිත්‍යකරුවෙකු වීමට සැපිරිය යුතු සුදුසුකම් මොනවද?
ළමා මනස හොඳින් තේරුම්ගත යුතුයි. ළමා ආකල්ප දැනගත යුතුයි. ළමා සිතිවිලි දැනගත යුතුයි. එහෙම බැරි නම්, එවැනි අය පොත් නොලියා සිටිය යුතුයි.
Q ලෝක මට්ටමේදී ළමා සාහිත්‍යයට පවතින පිළිගැනීම මොනවගේද?
ළමා සාහිත්‍ය තමයි විදෙස් රටවල ඉහළින්ම තියෙන්නේ. ඔවුන් දන්නවා එහි වටිනාකම. ඒ තරම් ඔවුන් ඒවා පිළිගන්නවා. මොකද ඔවුන් දන්නවා ළමයින්ට ආදරේ ඕන කියලා.
Q අද ළමා පුවත්පත් කලාවේ කඩාවැටීමක් තියෙනවා නේද?
මම වැඩ කරන කාලේ %බිංදු^ පත්තරේ ලක්ෂ 125ක විශාල අලෙවියක් පෙන්නුම් කළා. මුල්ම වතාවටයි එවැනි අලෙවියක් වාර්තා වුණේ. ඒත් පස්සේ මේ සඳහා දෙමවුපියන් පැමිණිලි කළා. විභාග ප්‍රශ්න පත්තර නැහැ කියලා කෑගැහුවා. මොකද ළමයා නෙමෙයි තීරණය කළේ මේ පත්තරේ ගන්නවාද නැද්ද කියලා. දෙමවුපියෝ. ඒ නිසා මම ඒ පැමිණිලි මත එයින් ඉවත් වුණා. ඒත් මම ඒ පත්තරෙන් එදා බලාපොරොත්තු වුණේ පන්ති කාමරෙන් පිටත ලෝකයෙන් ළමයා පොහොසත් කිරීමයි.
Q අද වෙද්දි ජනකතා නොදන්නා අත්තම්මාවරුත් බිහිවෙලා?
ඔව්. ඔවුන් ඒවා දන්නෙත් නැහැ. කියවලත් නැහැ. ජනකතා, ජාතකකතා මොනවද කියලවත් ඔවුන් දන්නේ නැහැ. ඒත් අපේ කාලේ අත්තම්මලා ජනවහර හරහා ජනකතා අපට දායාද කළා. අනික ඔවුන් පොතපත කියවූ මිනිස්සුත් නෙමෙයි. හැබැයි ඒවත් මගේ සාහිත්‍යයට බලපෑවා. ඒත් අද ජනකතා ගැන දන්නේ නැත්තෙත් අකුරු දන්නා උගතුන්ටයි.
Q ඔබේ මනසේ ජීවත් වන ළමයා ගැන ඔබට දුකක් නැද්ද?
නැහැ. ඒ ගැන මම ඕන තැනක බය නැතුව කියනවා. මගේ මනස ඇතුළේ ඉන්න ගමේ ජීවත් වන ළමයා තාම වැඩිලා නැහැ. ඒ නිසා මම අදත් කියනවා මගේ මනස ඇතුළේ පොඩි ළමයෙක් ජීවත් වෙනවා කියලා. ඒත් මිනිස්සු නම් කියන්නේ මම තාම වැඩිලා නැහැ කියලයි. හැබැයි ඔවුන්ගේ ඒ මතයටම තමයි මමත් හුඟක්ම කැමැති. මොකද මම අදත් කල්පනා කරන්නේ අවුරුදු අටේ ළමයෙක් විදියට.