භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දු ලබන සැප්තැම්බර් මස 08 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (14දා) තීරණය කළේය.
වසර එක හමාරකට ආසන්න කාලයක් පුරා මෙම නඩුවේ සාක්ෂි විභාග කිරීම අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඬුල්ල මෙලෙස දින නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 දෙනෙකුද විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් සිවු දෙනෙකුද සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැම්ණිල්ලේ හා විත්තියේ නීතිඥවරුන් විසින් කරන ලද නීතිඥ දේශනවලින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම විය.
මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දය පැවැති දින අංගොඩදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් හිටපු ඇමතිවරයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ජලාබ්දීන් මොහොමඩ් අසීම් සහ මනිවෙල් කුමාරස්සාමි නමැත්තන්ගේ මරණ සිදු කළ බවටත්, දමිත දර්ශන ජයතිලක නමැත්තා වෙඩි තබා මරාදැමීමට තැත් කරන ලද බවටත් නීතිපතිවරයා චෝදනා නඟා ඇත.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බස්නාහිර පළාත් සභා ඡන්දයේදී ඡන්දදායකයන්ට ගිනි අවි පෙන්වා සාපරාධී ලෙස බියගැන්වීම පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් අංගොඩ රාහුල විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසට බලහත්කාරය හා ප්රචණ්ඩත්වය යොදා කැරලි ගැසූ බවටද, එහි රාජකාරියේ යෙදී සිටි දමිත් සුරංග නමැති පොලිස් නිලධාරියාගේ පපුවට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවටද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන් කුමාර අබේවික්‍රම, ජනක බණ්ඩාර ගලගොඩ (අතුරුදන්), අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනාරච්චි ශමින්ද නමැත්තන්ටය.
2015 ඔක්තෝබර් මස 12 වැනිදා මෙම නඩුවේ සාක්ෂි විභාග කිරීම ආරම්භ කරන ලද අතර, එදින සිට මේ දක්වා දින 52 ක පමණ කාලයක් පුරා මෙම නඩුවේ සාක්ෂි විභාග කරන ලදී.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 දෙනෙකු, භාණ්ඩ 86 ක් සහ ලේඛන 126ක්ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කරන ලදී.
විත්තිකරුවන් අතරින් දැනට අතුරුදන්ව සිටින ගලගොඩ නමැති විත්තිකරු හැර අනෙක් සියලු විත්තිකරුවන් විත්ති වාචක ඉදිරිපත් කිරීම අවසන් කිරීම නිසා මෙම නඩු විභාගය අවසන් විය.
ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට දැනුම්දුන් පසු මෙම නඩුවේ තුන්වැනි විත්තිකාර චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තා වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකු සාක්ෂි දුන් අතර, එකොළොස් වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ඔහුගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා මහතා සාක්ෂි ලබා දුන්නේය.
විත්තිකරුවන් වෙනුවෙන් එම සාක්ෂිකරුවන්ට අමතරව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු සාක්ෂිකරුවෙකු නොකැඳවූ අතර, තුන්වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් හා එකොළොස්වැනි විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනා අතුරින් අධිකරණයේ සිටින විත්තිකරුවන් දොළොස් දෙනාම විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබා දුන්හ.
නඩුවේ සාක්ෂි විභාග කිරීම අවසන් වූ පසු පසුගිය මස 25 වැනිදා සිට පැමිණිල්ලේ හා විත්තියේ දේශන ඉදිරිපත් කළ අතර, මෙම නඩුවේ ලිඛිත දේශන හා නිවැරදි කිරීම් ඇත්නම් ඒවා ලබන අගෝස්තු මස 12 වැනිදාට පෙර මහාධිකරණ ලේඛකාධිකාරීවරියට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඬුල්ල දෙපාර්ශ්වයටම නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඉරෝමි ජයරත්න, අනුෂ්කා ලියනාරච්චි, නයනා දිසානායක, සනත් වික්‍රමසිංහ, මහින්ද මතුගම සමඟ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාද, 2, 4, 5, 6, 8, 9 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කිතිසිරි ලියනගේ, රෝහිත රාජපක්ෂ සමඟ නීතිඥ අශෝක වීරසූරිය මහතාද, 3 සහ 7 විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතාද, 11 වැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ ලසන්ත මනෝජ් නනායක්කාර, දන්ත නිරංජන්, ධනරාජ් සමරකෝන්, චන්දික පීරිස් සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතාද, 13 විත්තිකරු වෙනුවෙන් නීතිඥ සංකනාත් රත්නායක සහ උදාර විජේසිංහ යන මහත්වරුද පෙනී සිටියහ.