'වී පැදුරෙන්', 'කිරි ඉද්දගහට', 'ඉක්මන් නොවුණා' නම් වැනි ගීත ගායයෙන් රසික ජනාදරයට පාත්‍ර වූ ක්‍රිශාන්ත එරන්දක මේ දිනවල රටවිරු රියල් ස්ටාර් තරග විනිශ්චය කටයුතු වල යෙදී සිටී. ඔහුගේ කාර්ය බහුල කාලයෙන් බිඳක් රුගෙන 'අද' හා කතාබහට එක්කර ගත්තේ වත්මන් සංගීත ක්ෂේත්රය පිළිබඳව අදහස් විමසීමක් සිදුකිරීමටයි.
ඇයි ඔබත් ස්ටාර්ස්වැඩසටහන්වලට එන්නෙ?
මම බොහෝ රියලිටි වැඩසටහන්වල විනිශ්චයට සම්බන්ධවෙලා තියෙනවා. මම මේ ක්ෂේත්රයට පිවිසෙනකොට ප්‍රවීණයන්ගෙන් බොහෝ උදව් ලැබුණා. කෙනෙකුට කියන්න පුළුවන් ප්රවීණයො අත දෙන්නෑ කියල. ඒක බොරු කතාවක්. අද අපිට ඒක කරන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙන සමාජයක් නෑනෙ.
රිගින් ටෝන් පස්සෙ, සල්ලි පස්සෙ යන, ප්‍රවීණයෙක්ගෙ ඇසුරක් අරගෙන යන්න හිතන්නැති යුගයක මේ වගේ වැඩසටහනකට සහභාගිවෙලා ආධුනිකයෙකුට යම් විදියක පිටුවහලක් වෙන්න පුළුවන් නම් හොඳයි කියන පදනමේ ඉඳගෙන තමයි මම නම් රියලිටි වැඩසටහන්වලට එන්නෙ. රටවිරු රියල්ස්ටාර් වගේම දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනටත් මම සම්බන්ධ වෙනවා. කතාවක් තියනවා දැන් රියලිටි ඇති කියලා. මමත් හිතන්නෙත් ඇති. හැබැයි කරනවානම් අපි හරි මේකට මැදිහත්වෙලා හොඳ කෙනෙක් තෝරාදෙන්නයි මම ඉදිරිපත් වුණේ.
ඔබලා විනිශ්චය කර නිර්මාණය කරන ස්ටාර්ස්ලගේ නව නිර්මාණ කල් පවතින්නැත්තෙ ඇයි ?
ඒක තමයි බරපතළ ප්රශ්නය. නව නිර්මාණ එනවා. නමුත් අවර ගණයේ ගීතයි නිර්මාණය වෙන්නෙ. හුදෙක් නිර්මාණ බිහිවෙන්නෙ ජනප්‍රියත්වය උදෙසායි. නමුත් අපි නිර්මාණ කරන්නෙ එහෙම නොවෙයි. මම 1996 - 1997 සින්දු කරන කොට ගීතය කියන දේ සරලකොට තැකුවෙ නෑ. මිනිස්සුන්ගෙ හදවතට සමීප වෙන්න පුළුවන්ද? ප්‍රඥාව කොච්චර දියුණු වෙනවද? ඔවුනට මේ ගීතයෙන් ඥනය කොයිතරම් වර්ධනය වෙනවද? කොයිතරම් ජීවිතේ ඇත්දැකීමක් වෙනවද කියන තැන අපි හිටියා. එහෙම ඉඳල එකතු කරපු නිර්මාණ නිසයි අපිට මෙවැනි පරිසරයක් නිර්මාණය වෙන්නෙ. මම හැමදාමත් කියන්නෙ තරගයෙන් පළවෙනියා වෙනවද නැද්ද කියනෙක නෙවෙයි, හොඳ නිර්මාණකරුවෙක් වෙන එක ගැනයි. නමුත් රියලිටිවල SMS තියෙනවා. SMS පදනමේ ඇවිත් දිනන කෙනා නැවත හිතන්න එපැයි මහජනතාව ගැන. මේකෙන් මං කියන්නෙ සල්ලි අඩුවෙන් අරන් සින්දු කියන්න කියනෙක නෙවෙයි. ඊට වඩා දෙයක් කරන්න පුළුවන් නිර්මාණවලින්. ඔවුනට එයට කෘතගුණ සලකන්න පුළුවන්. අන්න එතනට වැටුණොත් සුභාවිත සරල ගීතය රැකෙනවා.
මෙය සකස් විය යුත්තේ කොහොමද ?
මේකට නීති පණවලා වැඩක් නෑ. කලා කටයුත්තක් සඳහා නීති සහ රෙගුලාසි දැමීමෙන් නිර්මාණ කටයුතු සිදුවෙන්නෑනෙ. නමුත් එය සිදුවිය යුත්තේ මේ අයගේ හිත් ඇතුළෙයි. අන්න ඒකට තමයි මේ වගේ සංකල්පයක් ඇතිකරන්නෙ. ගීත තෝරා ගැනීමේදී SMS ලැබෙන්නෙ කොයි වගේ ගීත ගැයුවාමද යනුවෙන් අපි මේ වගේ තරගයකට ඉදිරිපත් වෙලා ඔවුන්ව පොළඹවනවා. එවැනි දේවල් හදනෙක එළියෙ ඉඳලා කෑගහලා වැඩක් නෑ. මෙතන්ට ඇවිල්ල අපි නිවැරදි දේ පෙන්වාදිය යුතුයි. ආරම්භයක් විදියට මෙවැනි වැඩසටහනකින් එක්කෙනෙක් දෙන්නෙක් හරි එහෙම කළොත් ඉදිරිය හොඳ වෙයි.
රියලිටි වලින් වෙන්නෙ අනුන්ගෙ සින්දු කියන්න පුරුදු කරනෙක කියල ප්‍රවීණයෙක් ප්‍රසිද්ධියේ කිව්වා. මේක ඇතුළෙ නවක නිර්මාණ කරන ක්‍රමවේදයක් හදන්න විදියක් නැද්ද?
තියෙනවා. හැබැයි ප්රශ්නය තියෙන්නෙ රියලිටි සංකල්පය තුළම ගොඩනැගෙන්නේ මේ විදියට. පෙර අපේ ප්‍රවීණයෙක් ගයපු ගීයක් ගයලා තමන්ගේ හැකියාව පෙන්නනවා. තමන්ගේ ගායන කෞශල්‍ය කොතැනද තියෙන්නෙ කියලා වටහාගන්න මේ ගීතය ගායනා කරනවා කියල දෙපැත්තම තේරුම් ගන්නෝන. දෙපැත්ත කියන්නෙ විනිශ්චයකරුවන් සහ තරගකරුවන්. එතැනින් පස්සෙ එන කෙනා තේරුම්ගත යුතුයි මම අලුත් නිර්මාණ කරන්න ඕනෑය කියල. එය තමන්ගේ බුද්ධියත් එක්ක ගනුදෙනු කරල කරන්න ඕන දෙයක්. මමත් පොඩිකාලෙ අමරදේව මහතමයාගේ, සුනිල් එදිරිසිංහයන්ගේ සින්දු කිව්වා. නමුත් කවදාවත් ප්‍රසිද්ධ වේදිකාවේ ඒ අයගෙ සින්දු ගැයුවෙ නෑ. මම උත්සාහ කළේම මගේම ගීතයක් කොහොම හරි ගයන්න. එහෙම කරන්න පොළඹවන්නෝන. එහෙම පොළඹවන්න එළියෙ ඉන්නැතුව අපි ඇවිල්ලා මෙතන කතා කරන්නෝන.
අද ප්‍රවීණයන්ගෙ සින්දු ඇහෙනවා අඩුයි.ඒ ඇයි?
ඒ ගැන කතා කරද්දි නම් මාධ්‍ය ආයතනත් එක්ක බරපතළ අර්බුදයක් තියෙනවා. මේවා තැන තැන කතා නොකර කතිකාවතක් ගොඩනගන්න හොඳ කාලයක්.කතා කරන්න පුළුවන් නම් සින්දු කියන්න පුළුවන් කාලෙකට දැන් ඇවිල්ලා. විද්‍යුත් මාධ්‍ය ආයතන වගකීමකින් තොරව මේ ගීත ප්‍රචාරය කිරීම සඳහා මුදල්මය කටයුත්තක් සිදුකරනවාය කියල තියෙනවානේ. අපහසුවෙන් හරි ඒක පිළිගන්න තත්ත්වයට වැටිලයි තියෙන්නෙ. ඒ හරහා එවැනි සිදුවීම් සිදුවීම වළක්වන්න බෑ. ඔය කොයි දේ කොහොම වුණත් පළවෙනි පරම්පරාවේ ගීත කවදාවත් නැතිවෙන්නෙ නෑ. ඒවා සදාකාලිකවම පවතිනවා.
රිගින්ටෝන් අර්බුදය කෙළවර වෙන්නෙ කොතැනින්ද? ඒ ගැන එක්ව කටයුතු කරන්න තරම් ගායක ගායිකාවන් අතරෙත් එකමුතුවක් නෑ නේද?
මේකට ප්‍රධානම කාරණය තමයි නීතිය හරියාකාරව ස්ථාපිත වී නොතිබීම. අනෙක තමයි ආයතන ගායිකාවන්ගේ එකමුතුවක් නැතිකමක් තියෙනවා. ඒකත් පිළිගන්නෙ එපැයි. ඊළඟ කාරණය තමයි කර්තෘභාගය ගෙවනෙකට අතිගරු ජනාධිපතිතුමා මැදිහත්වෙලා ගැසට් නිවේදනයක් නිකුත් කළා. මේ ගැසට් නිවේදනයක් නිකුත් කළත්, අදටත් කර්තෘභාග ගෙවන්නෙ නෑ. ඔස්කාර් සංවිධානය හරහා අපි සංවිධාන ගතවෙලා තියෙන්නෙ. නමුත් නාලිකා කියනවා අපි එවැන්නකට බැඳී නැහැ කියල. එහෙම කියන්නෙ කොහොමද නීතියට? ගායන කේෂ්ත්‍රය සහ බුද්ධිමය දේපල පනතට අදාළ ගීත හරිහැටි ක්‍රියාත්මක වෙලා නැහැ යන්නයි මගේ හැඟීම.
මේකට මොනිටරිං සෙක්ෂන් එකක් තිබුණනම් ගිය අවුරැද්දේ මගේ ප්‍රචාරය වුණු ගීත ප්‍රමාණය හොයාගන්න තිබුණා. එහෙම බලලා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණා. එවැන්නක් නැති නිසා කරන්න කිසිම දෙයක් නෑ. එයටත් ජනාධිපතිතුමා මැදිහත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ සටහනක් හදමින් යනවා. මට විශ්වාසයක් තියෙනවා එතුමා මැදිහත් වුණ නිසා වැඩේ වෙයි කියලා.