සංචාරක වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ලක්ෂ 20 ක් පමණ වන විදේශිකයන් අතරින් ලක්ෂ තුනක පමණ පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවේ එදිනෙදා කුලී ගෙවන බර වැඩ සඳහා යොමුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.මේ අතරින් බොහෝ පිරිසක් දකුණු ආසියානු රටවල පුද්ගලයෝ වෙති. මේ පිළිබඳ සිදුකර ඇති අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල ශ්‍රමිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ බර වැඩ කරන බවයි. සාක් රටවල් අතර පවතින නිදහස් වීසා සේවය ඔවුන්ට ඉතාමත්ම පහසුවෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හේතුවක් වී තිබේ.
ඉදිකිරීම් වැඩබිම් හා විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා මෙම ශ්‍රමිකයන්ගේ ඉලක්ක බවට පත්ව ඇති බව වාර්තා වෙයි. අඩු වියදමකින් මෙවැනි ශ්‍රමිකයන් රාජකාරි කටයුතු සඳහා යොදාගත හැකිවීමත්, සේවක අර්ථසාධක අරමුදල්, භාරකාර අරමුදල් වැනි සේවක සුභසාධන කාර්යයන් ඔවුන්ට අදාළ නොවීම නිසාත් ඔවුන් සිය වැඩබිම් සඳහා බඳවා ගැනීමට සමාගම් කටයුතු කර තිබෙන බවද වාර්තා වෙයි.
මෙය ශ්‍රී ලංකාවේ රැකියා වියුක්තිය තවදුරටත් වැඩි කිරීමට අදාළ සාධකයක් වෙන අතරම එය නුදුරු අනාගතයේදී ජාතික ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බවද ශ්‍රමික වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳ ‘අද’ පුවත්පත කළ විමසුමකදී පිළිතුරු දුන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පැවසුවේ 2030 වසරේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් දෙකක පමණ පිරිසක් වැඩිහිටි හා බාල ප්‍රජාව නියෝජනය කරන බවට අධ්‍යයනවලින් හෙළිව ඇති හෙයින් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ රැකියා ගැටලුවක් ඇති වීමට වැඩි ඉඩක් ඇති බවයි.
ඒ අනුව එම ගැටලුවෙන් ශ්‍රී ලංකාවට ගොඩඒමට අවශ්‍ය නම් ඉතාමත් ඉක්මනින් අනාගතය පිළිබඳ අවධානය යොමුකර ජාතික රැකියා ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ හරහා ඉහත කී ගැටලුව පිළිබඳවද සලකා බැලිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.2030 පමණ වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් දෙකක් වන යැපුම් ජනතාව පෝෂණය කිරීමට හතරෙන් දෙකක් වන ශ්‍රම බළකායට සිදුවනු ඇති බවත්, එහෙයින් වැඩිහිටියන්ට කළ හැකි මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වූ රැකියා නිර්මාණය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ කර්මාන්තය තුළ තරුණයන් ලක්ෂ අටක පමණ ප්‍රමාණයක් නියැළි සිටින අතර, එම කර්මාන්තය බොහෝදුරට වැඩිහිටියන් වෙනුවෙන් යෝග්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා පැවසුවේ එම ලක්ෂ අටක තරුණ ප්‍රජාව කාර්යක්ෂම හා ඵලදායී කර්මාන්ත වෙනුවෙන් යොදාගන්නේ නම් ආර්ථිකයකට වැඩි දායකත්වයක් ලබාගත හැකිවනු ඇති බවයි.
එසේම වැඩිහිටියන් වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුවහොත් එය වැඩිහිටි බුබුළක් බවට පත්ව පිපිරීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අනාගතයේදී රැකියා නිර්මාණය කිරීමේදී කුමන රැකියා කුමන පුද්ගලයන් වෙනුවෙන් අදාළ වන්නේදැයි යන කරුණ පිළිබඳවද වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. යම් හෙයකින් අනාගතයේදී මෙම ගැටලු විසඳීමට අපොහොසත් වුවහොත් එය ශ්‍රී ලංකා ආර්ථිකයට බලවත් ගැටලුවක් වන බව පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉතාමත් ඉක්මනින් ලංකාවේ ශ්‍රම බළකාය පිළිබඳ තක්සේරුවක් හා පූර්ණ පරීක්ෂණයක් කර ජාතික රැකියා ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවයි.