ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු විපක්ෂයට සහාය ලබාදීම සඳහා පිහිටුවීමට නියමිත නව පක්ෂයට තමා ඇතුළු රාජපක්ෂ පවුලේ පූර්ණ ආශීර්වාදය ලැබෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අලුතින් පිහිටුවන පක්ෂයේ නායකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙන අතර පක්ෂ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නමද යෝජනා වී ඇතැයි වාර්තාවේ. කෙසේ වුවද බැසිල් රජපක්ෂ මහතා සම්බන්ධයෙන් මහින්ද පාර්ශවයේ සාමාජිකයන් අතර මත දෙකක් නිර්මාණය වී ඇති බවද වාර්තාවේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වී වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැති සාමාජිකයන්ට නායකත්වය ලබාදීම සඳහා මෙම පක්ෂය පිහිටුවීමට තීරණය කර තිබේ. මෙම පිරිස මේ දිනවල සක්‍රියව තබා ගැනීමේ මෙහෙයුම බැසිල් රාජපක්ෂ මහතා විසින් සාර්ථකව සිදු කරගෙන යන බවද වාර්තාවේ.
මේ පිළිබඳව 'අද' හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, අලුතින් පිහිටුවන පක්ෂයේ නායකත්වයට පත්වීමට තමන්ගේ අදහසක් නොමැති බවයි. එහෙත් අලුතින් පිහිටුවන පක්ෂයට තමන් ක්‍රියාකාරීව දායකත්වය ලබාදෙන බවත්, එම පක්ෂය සඳහා තමා ඇතුළු රාජපක්ෂ පවුෙල් පූර්ණ ආශීර්වාදය හිමිවන බවත් හෙතෙම පවසා සිටියේය.
ගමකට ගිය විට නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අවශ්‍ය බවට ජනතාව ඉල්ලීම් කරන අතර, යම් යම් කණ්ඩායම් මගින් අසාධාරණයට ලක්වන පාක්ෂිකයන් වෙනුවෙන් වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙනී නොසිටින බවට ජනතාව චෝදනා කරන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ශක්තියක් වන්නට අලුතින් පිහිටුවන පක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන බවත්, එහෙත් දේශපාලනය තුළ ක්‍රියාකාරීව කටයුතු කරනවාද, නැද්ද යන්න පිළිබඳ තවමත් තීරණය ගෙන නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.
අදාළ පක්ෂය දැනට පොදු විපක්ෂය ලෙස ක්‍රියාකරන දේශපාලන බලවේගය සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.