තමන් දිනපතාම භාවනාවට යොමුව සිටින බවට සසෙක්ස් හි ආධිපාදවරයා වන හැරී කුමරුන් ප්‍රථම වරට බොහෝදෙනා විමතියට පත්කරන අනාවරණයක් සිදුකරයි.
ගැබිණියක වූ සිය ආදරණීය බිරිඳ වන මේගන් කුමරිය සමග බර්කන්හෙඩ් හි 'නම්බර් 7' අවන්හල සහ වෙළෙඳ සැල වෙත ගිය අවස්ථාවේදී 34 හැවිරිදි හැරී කුමරුන් මෙම අදහස් මතුකර ඇත්තේ, 69 හැවිරිදි කෙල්සැන්ග් සොනම් නමැති බෞද්ධ භික්ෂුව හමුවේය.
'නම්බර් 7' අවන්හල සහ වෙළෙඳ සැල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් වෙත සහන මිලට ආහාරපාන සහ පාරිභෝගික භාණ්ඩ සපයන වෙළෙඳ සැලක් ලෙස ප්රකටය. එහි ගිය හැරී සහ මේගන් එම අවන්හලේ රැඳී සිටි පිරිස් සමග එකතුව ආහාරපාන භුක්ති විඳින අතරතුර මෙම බෞද්ධ භික්ෂුව සමග සුහද කතාබහක යෙදීමේ වාසනාව හැරී කුමරුට උදාවී ඇත.
මේ අවස්ථාවේදී එම හිමිනම විසින් හැරී කුමරු වෙත විශේෂ ග්‍රන්ථයක්ද පිළිගන්වා ඇති අතර, එය '8 Steps to Happiness' නමැති කෘතිය බව බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කරයි. කෙසේ වෙතත්, හැරී කුමරුන්ට භාවනාව සම්බන්ධයෙන් මෙවැනි ඇල්මක් ඉස්මතු වීමට ඔහුගේ ආදරණීය බිරිඳ වන මේගන් කුමරිය අනුබලයක් වී ඇති බවට අටුවාටීකා අවශ්‍ය නොවේ. මන්දයත්, මේගන් කුමරිය මීට පෙර අනාවරණයක් කර තිබුණේ, තමාද දිනකට දෙවරක් භාවනාවක නිරත වන්නෙකු බවටය.
ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වන භාවනා ගුරුවරයෙකුගෙන් මේගන් භාවනාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන ඇති අතර, ඇය වෙත දැනටත් ඊමේල් පණිවුඩ හරහා භාවනාව සම්බන්ධ උපදෙස් ලබාදෙන බව ඔහු පවසා තිබේ. ඇගේ ගුරුවරයා පවසා තිබුණේ, මේගන් සෑම දිනකම උදෑසන විනාඩි 20ක කාලයක් භාවනාවේ නිරත වන අතර, සවස් කාලයේදීද ඒ හා සමාන කාලයක් භාවනාවේ නිරත වූ බවය.