අලිබබා සමාගමේ සම නිර්මාතෘ සහ එහි විධායක සභාපති මෙන්ම, චීනයේ ප්‍රමුඛතම ධන කුවේරයෙකු වන ජැක් මා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, හෙට දිනයේදී ඔහු සමාගමේ විධායක සභාපති ධුරයෙන් ඉවත් වීම සිදු වුවත්, තවදුරටත් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ පරාර්ථකාමී අධ්‍යාපන වැඩසටහන් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වීමට බව සඳහන් වෙයි.
වර්ෂ 1999 දී ජැක් මා සම නිර්මාතෘවරයෙකු ලෙස ආරම්භ කළ අලිබබා සමාගම මේ වනවිට ඊ-වාණිජ්‍ය ක්ෂේත්රයේ ලොව ප්‍රමුඛතම අන්තර්ජාල සමාගමකි.
මේ වනවිට අලිබබා සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බිලියන 400 ඉක්මවන අතර, එය අන්තර්ජාල වෙළෙඳාම, චිත්‍රපට නිෂ්පාදනය මෙන්ම ක්ලවුඩ් පරිගණක ආදී ක්ෂේත්‍ර රැසක් කෙරෙහි නැඹුරුව සිටියි.
චීන පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ ජැක් මා කියා සිටියේ තමාගේ සමුගැනීම යුගයක අවසානය නොව, එය යුගයක ආරම්භය බවයි. තමන් අධ්‍යාපන ක්ෂේත්රයට දැඩිව ඇලුම් කරන්නෙකු බවද මා කියයි.
හෙට දිනයේදී සිය 54 වැනි උපන්දිනයටද එලැඹෙන මා සතුව පෞද්ගලික වත්කම් පමණක් ඇ.ඩො.බිලියන 40ක් පමණ වන අතර, 2017 ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව චීනයේ තෙවැනි ධන කුවේරයාය.
මයිකොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අඩිපාරේ යමින් බිල් සහ මෙලින්ඩා පදනම මෙන්ම තමාගේ පදනමක් ඇති කර ගැනීමට මා කැමැත්තෙන් සිටියි.
ඔහු පවසන්නේ තමන් බිල් මෙන් ධනවතෙකු නොවූවත්, ඔහුගෙන් ඉගෙනීමට තමාට බොහෝ දේ ඇති බවයි.
කෙසේ වෙතත්, තමන්ට කලින් විශ්‍රාම යෑමට අවස්ථාව පවතින බව කියන මා, නුදුරු දිනකදී, හෝ ඉක්මණින්ම තමන් ඉගැන්වීමේ කාර්යයට යොමුවනු ඇති බවයි. එය අලිබබා හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට වඩා හොඳින් තමන්ට කළ හැකි බව ඔහු කියයි.