“ඇය දිරිමත් - රට සවිමත්” යන්න තේමා කර ගනිමින් කාන්තාවන් 1000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැත්විණි. ජාතික උත්සවයට සමගාමීව රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල ව්‍යවසායික කාන්තාවන්ගේ නිෂ්පාදන කුටි 75කට අධික  අලෙවි වෙළෙඳ පොළක් සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයතු යොදා තිබුණි. 
මෙම උත්සව සභාවට එක් වෙම්න් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙලෙස අදහස් දැක්වූවාය. 

“මොන අමාත්‍යාංශය අප වෙත ලැබුණත් අම්මා කෙනෙක් විදිහට මේ රටේ කාන්තාවන්ට කරන්න තියෙන කටයුතු ටික සහ වගකීම් බලපුවාම ඒ කාන්තාවන්ට මේ රටේ ගෞරවයක් ලබාදීමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ සිදුවිය යුත්තේ. අපි කාන්තාවන් විදිහට දරුවන්ගේ සියලු වැඩකටයුතු කරන්න ඕන. කාන්තාවන් මේ සමාජයේ මොනතරම් බරක් දරාගෙන සිටිනවාද. මේ සියලු වගකීම් දරන කාන්තාවට අප සමාජය තුළ මොන තරම් ගෞරවයක් ලබාදීමට වැඩපිළිවෙළක් තිබෙනවාද. කාන්තාවට සමාජය තුළ ගෞරවය, වගකීම නිසි තැන තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. 

මෙම අමාත්‍යාංශය බාරගත් වෙලාවේ මම සිතා ගත්තේ මට පුළුවන් විදිහට මෙරට කාන්තාවන්ගේ ගෞරවය හා අභීමානය රැකීමට කටයුතු කරනවා කියන යනුවෙනි. අප රටේ කාන්තාවගේ තිබෙන දිලිඳුභාවය, වේදනාව, පීඩාව නැති කිරීමට ප්‍රධානතම පිළිතුර වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම. ලෝකයට ගෘහ සේවා සැපයීමට අපේ දරුවන් යැවිය යුතු නැති බවත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන කාලයේම වෘත්තීය පුහුණූව ලබාදෙන කාලයේම හොඳ ඉංග්‍රීසි දැනුමක් සහ හොඳ වෘත්තීය දැනුමක් ලබාදීමත් බවයි”
මෙහිදී හොඳම කාන්තා බල මණ්ඩලය තේරීම, හොඳම ව්‍යවසායික කාන්තාව තේරීමේ තරගයේ සහතික පත් පිරිනැමීම, හොඳම සුහුරුලිය තේරීමේ සමස්ත ලංකා තරගයේ ජයග්‍රාහිකාවන් සඳහා සහතිකපත් ප්‍රදානය, යුනිලීවර් ආයතනයෙන් සකසන කාන්තාවන් සඳහා විද්‍යුත් ජාලගත ඉගෙනුම් පාඨමාලා සඳහා වන පරිගණක මෘදුකාංගය (online Education Platform) එළි දැක්වීමද අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායික කාන්තාව ලෙස කේ.පි.එච්.ඩි රංජනී කාන්ති මහත්මියත්, සමස්ත ලංකා තරගාවලියේ හොඳම සුහුරුලිය වශයෙන් ශ්‍රියාණි දික්කුඹුර මහත්මියත් සම්මාන දිනාගත් අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල තේරීමේ තරගයේ පළමු ස්ථානය කුරුවිට කාන්තා බල මණ්ඩලය විසින් දිනා ගන්නා ලදී. 

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment