ඔටුන්නක් හිසේ දැරීම සැබෑ නොවන නමුත් සෑම ගැහැනියකම කුඩා කල දුටු සුන්දර සිහිනයක් බව නොරහසක්. සාමාන්‍ය පවුලක උපත ලබා එසේ සිහින දුටු තැනැත්තියක්, දෛවයේ ඇවෑමෙන් රජ පවුලක කුමරියක් ලෙස කිරුළ දරන්නට වරම් ලැබ, එම කිරුළ අතහැරීමට තීරණය කිරීම විස්මයක්. එය එසේ වන නිසාම මේඝන් මාර්කෙල් නමැති ඇය ගැන සමස්ත ලෝකයම විස්මිතව සිටින්නේ මාස කිහිපයක සිටය.

ලෝකයේ වඩාත්ම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය රජ පවුලට එක්ව සසෙක්ස් ආදිපාදවරිය බවට පත්වූ ඇමෙරිකා ජාතික මෙන්ම කළු ජාතික මේඝන්, රජ පවුලේ ඉතිහාසය වෙනස් කළ තැනැත්තියක බවට පත්වූයේ නිතැතිනි. සාමාන්‍ය පවුලක ගැහැනියකට එවන් කිරුළක් දැරීමට තරම් මානසිකත්වයක් යුරෝපා සමාජයේ පවතින බවට උදම් ඇනූ ලෝක ප්‍රජාවට ඒ පිළිබඳ යළි යළිත් සිතන්නට ඇය අවස්ථාව උදාකර දුන්නාය. විශේෂයෙන් ඇය රජ පවුලේ නීති රෙගුලාසි, චාරිත්‍ර වාරිත්‍ර, ඇවතුම් පැවතුම් අනුගමනය කරන්නට යාමේදී ඇතිවූ අතපසුවීම් එරට මාධ්‍ය තුළ උලුප්පන්නට විය.

විටෙක ඇය පැලඳි සපත්තු නොගැළපුණි. විටෙක ඇය කකුලක් පිට කකුලක් දමා හිඳගැනීම රජ පරපුරට කළ අපහාසයක් ලෙස පෙනුණි. නිළියක ලෙස සිටි ඇයගෙන් සමරු සටහන් ඉල්ලා පොරකන රසිකයන් වෙනුවෙන් ඇය තැබූ අත්සන් රජ පවුලේ නීතිරීතිවලට නොගැළපුණි. රජ කුමරියක ලෙස ඇය රජ පවුලට අයිති ආභරණ පැලඳීම සම්බන්ධයෙන්ද වරක් සීමාකිරීම් පනවා තිබුණි. නෑනලාගෙන් එල්ලවන පීඩනය ආසියාතික සමාජයේ පමණක් පවතින බවට වන මතයද ඇය අත්දුටු අත්දැකීම් මත වෙනස් විය. විශේෂයෙන් හැරී කුමරුගේ වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ වන කේට් කුමරිය සමග ඇති විරසකයන් සූක්ෂ්මව කැමරාවට හසුකර ගන්නට එරට මාධ්‍යයට හැකි විය.

එකී මෙකී නොකී සියලුම ආකාරයේ සීමාකිරීම් හමුවේ ගැහැනියකට අවශ්‍ය වන්නේ තමන්ගේ සහයට නිරන්තරයෙන්ම කැප වන තමන්ව තේරුම්ගන්නා සැමියකු මිස කුමාරයෙකු නොවන බව ඇය සිතන්නට ඇතුවාට සැක නැත. ඇයව තේරුම් ගත් සැමියෙකු ලබන්නට වාසනාවන්ත වූ නිසාම කිරුළ අතහැර රජගෙයින් නික්මෙන්නට ඇයගේ සැමියා වන ඔටුන්න හිමි හැරී කුමරු තීරණය කිරීමද ආශ්චර්යයකි. රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන්නට තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කළ ඔවුන් පසුගියදා රාජකීයත්වයට සමුදෙනු ලැබීය. කෙතරම් වටිනා කිරුළක් වුවත් හිසට බරක් වූ විට ගැහැනිය සොයන්නේ තමන්ගේ නිදහස හා අභිමානය බව මේඝන් ලොවට පෙන්වා දී අවසානය.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment