ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දේවපතිරාජ ජාතික විද්‍යාලය යනු වසර සියයක් තරම් දිගු ඉතිහාසයක් පවතින පාසලකි. දරුවාට පාසලක් තුළින් මෙවර අප ගෙන එනුයේ එම විද්‍යාලය පිළිබඳ සටහනකි.

ඉතිහාසය

1920 වර්ෂයේ ආරම්භ වූ ගාල්ල දේවපතිරාජ ජාතික විද්‍යාලයේ නිර්මාතෘවරයා වන්නේ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතාය. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකු වූ දේවපතිරාජ ඇමැතිවරයාගේ නම මෙම විද්‍යාලයට නම් තැබීමේදී මූලික කර ගෙන තිබේ. ආරම්භයේදී 8 ශ්‍රේණිය දක්වා මිශ්‍ර පාසලක් ලෙස පවත්වාගෙන ආ මෙම විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වනුයේ සාර්ලිස් ගුණසේකර පෙරේරා මහතාය. 1926 වර්ෂයේදී විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ සාර්ලිස්ද සොයිසා මහතා විසින් මෙම පාසල ද්වීභාෂා විදුහලක් බවට පත්කරනු ලැබීය. සුනාමි ව්‍යසනයෙන් පසු 2016 වර්ෂයේ මෙම පාසල පෙර තිබූ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යනු ලැබුවේ ජපන් සහයෝගිතා සංවිධානයක් වන ‘JICS’ සංවිධානයේ ආධාර මතය.

වර්තමානයේ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වුම් කටයුතු සිදුකරගෙන යන මෙම පාසලේ තාක්ෂණවේදය ඇතුළුව උසස්පෙළ සියලුම මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදුකරනු ලබයි. වර්තමානයේ විදුහලේ විදුහල්පතිවරයා ලෙස එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් මහතා කටයුතු කරන අතර, නියෝජ්‍ය විදුහල්පති (පාලන) ජී. ඩී. අබේසුන්දර මහත්මියත්, නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන / අධ්‍යාපන) එස්. එස්. දඩල්ලගේ මහත්මියත්  මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරයි. 81 දෙනෙකුගෙන් යුතු ගුරුමණ්ඩලයක් හා 10 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩල නිලධාරීන් හා සේවකයන් 10 දෙනෙකු මෙහි සේවය කරන අතර, සිසු සිසුවියන් 2092ක් මෙහි ඉගෙනුම ලබයි.

ප්‍රදේශයේ කීර්තිමත් මිශ්‍ර පාසලක් වන දේවපතිරාජ ජාතික විද්‍යාලයට පෝෂිත පාසල් 6කින් 6 ශ්‍රේණියට ළමුන් බඳවාගනු ලබයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා මෙහි පන්ති පැවැත්වෙන අතර, එක් ශ්‍රේණියකට සමාන්තර පන්ති කාමර 07ක් පවතී. පෝෂිත පාසල්වලට අමතරව පිටස්තර පාසල්වලින් මේ සඳහා ළමුන් ඇතුළත්වන විට ඔවුන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා අධ්‍යාපන මට්ටම සලකා බලනු ලැබේ. මෙහිදී අයදුම් පත්‍රයක් යොමු කිරීම මගින් පුරප්පාඩු ඇති අවස්ථා අනුව ළමුන් බඳවා ගනු ලබනුයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රෙල්ඛවලට අනුවය. 

මීට අමතරව උසස් පෙළ පන්ති සඳහාද ළමුන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව මෙම පාසලට ළමුන් බඳවා ගැනීම සිදුකෙරෙන අතර, විශේෂයෙන් තාක්ෂණික විෂයන් සඳහා වෙනත් පාසල්වලින් උසස් පෙළ සඳහා මෙම පාසලට සිසුන් ඇතුළත් වේ.

අධ්‍යාපනය

2015 වර්ෂය දක්වා මෙම පාසලේ සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 49%ක් වැනි අගයක පැවතුණු අතර, වත්මන් විදුහල්පතිවරයා පාසලට පැමිණීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ ප්‍රතිපෝෂණ වැඩසටහන් හේතුවෙන් එම අගය 75% දක්වා වර්ධනය කරගැනීමට 2016 වර්ෂයේ සිට හැකි වී තිබේ. 

ඒ උදෙසා විශේෂ වැඩසටහන් පාසල් ආරම්භයට පෙර හා පාසල් කාලයෙන් පසු ක්‍රියාත්මක කෙරේ. එසේම නිවාඩු කාලයේ අර්නස්ට්ද සිල්වා කනිටු විදුහලේදී විශේෂ ප්‍රතිපෝෂණ වැඩසටහන් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ. 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම පාසලේ සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිඵල 75% මට්ටමේ පවත්වා ගැනීමට මෙම ප්‍රතිපෝෂණ වැඩසටහන් හරහා හැකි වී තිබේ. 

සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල ලබාගන්නා බොහෝ සිසුන් ප්‍රදේශයේ වෙනත් පාසල්වලට ප්‍රවේශය ලබන පසුබිමක උසස් පෙළ විභාගයෙන් සමත්වීමේ ප්‍රතිශතය 72%ක මට්ටමක පවත්වා ගැනීමට මෙම පාසල සමත්ව තිබේ. ඒ අනුව වාණිජ හා තාක්ෂණික විෂයන්වලින් සිසුන් දස දෙනෙකු පමණ වාර්ෂිකව මෙම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලබාගනී. 

 

ක්‍රීඩා

ක්‍රීඩා අතින් ඉහළ ස්ථානයක රැඳී සිටින දේවපතිරාජ ජාතික විද්‍යාලය පාසල් කාන්තා ක්‍රිකට් අංශයෙන් ලංකාවේ අංක එකේ ස්ථානයේ රැඳී සිටී. පාසලේ පවතින ක්‍රීඩා අතර ක්‍රිකට් බාලක / බාලිකා, පා පන්දු බාලක / බාලිකා, රග්බි බාලක / බාලිකා, චෙස්, කරාතේ, තයිකොණ්ඩෝ, මේස පන්දු ,මලල ක්‍රීඩා ආදිය සඳහන් කළ හැකිය.

ක්‍රීඩා අතින් සමස්ත ලංකා හා පළාත් ජයග්‍රහණ රැසක් මෙම පාසලේ සිසුන් සතු කරගෙන ඇත. ඒ අතර විශේෂම ජයග්‍රහණය වනුයේ පාසල් බාලිකා ක්‍රිකට් කණ්ඩායම පිට පිට වසර පහක්ම සමස්ත ලංකා ශූරතාව ජයග්‍රහණය කර තිබීමයි. එසේම ශ්‍රී ලංකා ජාතික බාලිකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම පාසලේ සිසුවියන් පස් දෙනෙකුම ක්‍රීඩා කරයි. බාලක ක්‍රිකට් කණ්ඩායම Division 1 ස්ථානයේ රැඳී සිටියි. රග්බි ක්‍රීඩාවෙන් හා ක්‍රිකට් ක්‍රීඩාවලින් ජයග්‍රහණ රැසක් මෙම පාසල හිමිකරගෙන සිටින අතර, මීට අමතරව මෙම පාසලේ ශිෂ්‍ය භට කණ්ඩාම විසින් සෑම වසරකම ජයග්‍රහණ රැසක් දිනාගනු ලබයි.

(විශේෂ ස්තූතිය පාසලේ ආදි ශිෂ්‍ය රුවන් තොටගමුව මහතාට)
නදීශානි පතිරණ / ජායාරූප - රුවන් තොටගමුව

0 comments

Leave a Reply

Post Comment