අනාගතයේ තමන් නියැළෙන්නට සිහින දකින වෘත්තිය හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් එලෙස උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට සිතන ඔබටත්, තමන්ගේ දරුවාගේ අරමුණ කරා යන ගමන් මග පෙහෙළි කරන දෙමවුපියන් වන ඔබටත් නැගෙන ගැටලු කිහිපයකට අප මෙලෙස පිළිතුරු ගොනුකරනු ලැබුවෙමු. මේ පිළිබඳ විමසීම සඳහා අප සම්බන්ධ කරගත්තේ  මෙරට පෙරළිකාර සමාගමක් වන ‘ඇරිමැක් ඩිජිටල්’ (Arimac Digital)  ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ චමීර ප්‍රසාද් ජයසිංහ මහතාවය.

පාසල් සිසුවෙකු අනාගත රැකියා වෙළෙඳ පොළ දෙස බලා උසස් අධ්‍යාපනය ලැබිය යුතු විෂයන් තෝරා ගැනීම සිදුකළ යුත්තේ කෙසේද ? 

උසස් අධ්‍යාපනය කියන දෙය යම් අයෙක් තීරණය කළ යුතු වන්නේ තමන් තුළ තිබෙන Passion එක වගේම Skills කියන දේ හරි හැටි තේරුම් ගත්තාට පසුවයි. තමන් තුළ තිබෙන දක්ෂතාව හා අනාගතයේ තමන් කවුරුන් විය යුතුද යනුවෙන් දකින සිහිනය අනුව අපි අපේ උසස් අධ්‍යාපනය තේරුම් කළ යුතුයි. 

එහිදී අපේ හැකියාව හා සිහිනය අතර යම්කිසි හිදැසක් පවතිනවාද? එය පුරවන්නට යම්කිසි ක්‍රමවේදයක් පවතිනවාද? යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුයි. විශේෂයෙන් ලංකාව වගේ රටක නම් තමන්ගේ ආශාව හා හැකියාව පමණක් නොවෙයි රැකියා වෙළෙඳ පොළේ තමන් ඉගෙන ගන්න දේත්, රැකියාවේදී අවශ්‍යවන නිපුණතා හා සුදුසුකම් අතර හිදැසක් පවතිනවාද යන්නත් සොයා බැලීමෙන් පසුව විෂයන් තෝරා ගැනීම සිදුකළ යුතුයි.

උසස් පෙළ විෂය ධාරාවන් සාම්ප්‍රදායික පෙළ ගැස්මෙන්ම සිදුකළ යුතුද? නැතිනම් විෂයන් මිශ්‍රණයක් ලෙස සිදුකිරීමෙන් අනාගතය අඳුරු වෙයිද ?

අපි හිතුවොත් යම් සිසුවෙක් අනාගතයේ ඉංජිනේරුවෙක් වෙන්නට අරමුණක් සහිතව ඉන්නවා නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන් එම විෂය ධාරාවේ බේස් එක නැත්නම් පදනම නිවැරදිව සකස් කරගත යුතුයි. එනම් ඔහු හෝ ඇය අනිවාර්යෙන් ගණිත විෂය හැදෑරිය යුතුයි. ඒ වගේම යම් අයෙක් වෛද්‍ය වෘත්තියට ප්‍රවේශ වීමට අදහස් කරනවා නම් ඔවුන්ට අනිවාර්යෙන් විද්‍යා විෂය හදාරන්නට සිදුවෙනවා. 
නමුත් වර්තමානයේ ඉංජිනේරු විෂය ගැන බැලුවොත් සාම්ප්‍රදායික ඉංජිනේරුවෙක් කියන තැනින් එළියට ඇවිත් රොබෝ තාක්ෂණය වගේ නවීණ විෂයන් එකතු වෙලා තිබෙනවා. ඒ විෂයන් ඉගෙන ගැනීමට වුණත් අපිට උසස් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් පදනම වන ගණිත දැනුම අත්‍යවශ්‍යයි.

ඒ වගේම අපේ වගේ රටවල්වල ජීවත්වන අය එක් රාමුවකට කොටුවෙලා තමයි ඉගෙන ගන්න එක සිදුකරන්නේ. නමුත් අපි එයින් පිටතට ඇවිත් ලෝකය වෙනස් වෙන ආකාරයට ඉගෙන ගැනීමත් සිදුකළ යුතුයි. ලෝකය වෙනස් කළ විශිෂ්ට පුද්ගලයන් දිහා අපි බැලුවොත් ඔවුන් ඔවුන්ගේම දෙයක් නිර්මාණය කරලා ඉදිරියට ගොස් තිබෙනවා. ඒ අනුව තමන්ට වෙනස් දෙයක් කරන්න පුළුවන් නම් සම්ප්‍රදාය බිඳ දමන්න ඕනෑම කෙනෙක්ට හැකියාවක් තිබෙනවා. 

ඒ හැර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගන්න Z අගය ඉහළ විෂයන් තෝරා ගෙන ඒවා හැදෑරීම එතරම් යෝග්‍ය වන්නේ නැහැ. එසේ කියන්න හේතුව වන්නේ එම සිසුවා ඉහළ Z අගයක් අරගෙන විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙලා අවුරුදු 4 ½ක්ම ඒ විෂය හදාරලා උපාධියක් ලබා ගැනීමයි. නමුත් අවසානයේ උසස් පෙළ සඳහා වැයකළ කාලයත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වැයකළ කාලයත් එකතු කර බැලුවම අවුරුදු 7ක් වගේ කාලයක් වැය කර තිබෙන්නේ තමන් ආශා කරපු දෙයට නොවෙයි. 

අවසානයේ අපි වෙනත්ම විෂයකින් උපාධියක් කරලා ඊට හාත්පසින් වෙනස්ම වූ ක්ෂේත්‍රයකට ප්‍රවේශ වෙන්නට උත්සහයක යෙදෙනවා. මේ උත්සහය අසාර්ථක වෙන්න තිබෙන හැකියාව වැඩියි. අපිට වර්තමානය ගැන බැලුවොත් ළමයින්ට තමන්ගේ අරමුණ කරා යන්න නිවැරදි මාර්ගය පෙන්වන පුද්ගලයන් හා ආයතන රාශියක් තිබෙනවා. මිනිස් ජීවිතයේ අවුරුදු 7ක් කියලා කියන්නේ ලොකූ වෙනස්කම් කරන්න පුළුවන් කාලයක්. ඉතින් අපි හැම වෙලාවෙම හිතන්න අවශ්‍ය වෙන්නේ උපාධියක් කරනවා කියලා සහතිකයක් ලබා ගැනීමට වඩා අවශ්‍ය වන්නේ තමන්ගේ අරමුණ කරා යෑමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වීම වැදගත්ම දෙය විය යුතු බවයි.

උසස් පෙළ විභාගයෙන්  ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, නීති වැනි පීඨවලට තේරෙන්නට සුදුසුකම් නොලැබුණේ නම් යළි විභාගයට පෙනී සිටීමද එකම විසඳුම ? 

තමන්ට තමන්ගේ හීනය කරා යන්නට දැඩි ආත්ම විශ්වාසයක් ඇතිව වැඩ කරන කෙනෙක්ට තමන් නැවත විභාගයට මහන්සි වීමෙන් හැකියාවක් ලැබේවි යැයි දැඩි විශ්වාසයක් තිබෙනවා නම් නැවත විභාගයට පෙනී සිටීම හොඳම විසඳුම බවට පත්වේවි. 
නමුත් මෙය තීරණය වන්නේ ඒ ඒ සිසුවා හදාරණ විෂයන් අනුවයි. ඇතැම් විෂයන් හා ක්ෂේත්‍ර තිබෙනවා උපාධියක් නොතිබුණත් ක්ෂේත්‍රයේ ඉහළටම ගමන් කරන්නට වෙනත් මාර්ග සොයා ගැනීමට හැකියාවන් සහිත. යම් අයෙකුගේ හැකියාව, උද්යෝගය, නිපුණතාව, කැපවීම වැනි දේවල් මත එම ක්ෂේත්‍ර යේ ඉහළට යෑමට හැකියාවන් පවතිනවා. 

ඒ වගේම ඇතැම් ක්ෂේත්‍ර තිබෙනවා ඒවායේ ඉහළට යන්න නම් අනිවාර්යෙන් සහතික අත්‍යවශ්‍යයි. තමන්ගේ හැකියාවෙන් නිපුණතාවෙන් ඉහළට යන අයට වර්තමානයේ e - learning හරහා තමන්ගේ ගමන්මග පාදාගත හැකියි. ඇතැම් ළමුන් අපි දකිනවා ලංකාවේ වෛද්‍ය පීඨයට වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්න නොහැකිව අසරණ වෙලා ඉන්න අය අපි දකිනවා. මෙහිදී අපි නැවත සිතා බැලිය යුතු දෙය වන්නේ අපේ අනාගත අරමුණ මොකක්ද? එයට ළඟා වෙන්න අපි කළ යුත්තේ කුමක්ද? කියන දේ හඳුනා ගැනීමයි. 

අපිට සින්දු කියන්න බැරිවුණත් එයට ආශාවක් තියෙනවා නම් නොනවත්වා කරන අභ්‍යාස තුළින් ජීවිතයේ කවදා හෝ සින්දුවක් ගායනා කරන්න පුළුවන් තත්ත්වයට පත්වෙන්නට හැකියාව ලැබෙන්නට පුළුවන්. නමුත් අපි අවුරුදු ගණනාවක් ඒ වෙනුවෙන් මහන්සිවෙලා කාලය කැප කරනවාද? එසේ නැත්නම් වෙනයම් දෙයක නියැළෙන අතරතුර එම සිහිනය සැබෑ කරගන්නට මහන්සි වෙනවාද? යන්න අපි තීරණය කළ යුතුයි. එසේ නොමැතිව අපේ ජීවිතය එක තැනක සිරකර තැබීම නුවණට හුරු නොවේ.

ඒ වගේම කියන්න ඕන අපේ රටේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් වීමෙන් සමාජයේ පිළිගැනීමක් ඇතිවෙනවා කියන සාම්ප්‍රදායික මතය ක්‍රමයෙන් ගිලිහෙමින් යනවා. ඒ වෙනුවට Entrepreneur කියන තනතුරට සමාජයේ පිළිගැනීම වැඩි වී තිබෙනවා. ඒ නිසා අපි මොන විෂයන් ඉගෙන ගත්තත් අපි මොන ක්ෂේත්‍රයේ රැඳී සිටියත් එයින් ඉහළටම යන්නට අවශ්‍ය දැනුම ලබාගෙන අපිව Brand කරගන්න හැකියාවක් තිබිය යුතුයි.

වාණිජ වැනි විෂය ධාරාවෙන් ඉගෙන ගන්නා ළමුන්ට මූල්‍ය ආයතනවල රැකියා හෝ වෘත්තීන්වල නිරත වෙන අතරතුර තමන්ගේ හැකියාවන් ඉහළ දමාගන්න වෙනස්ම විෂයන් හදාරන්න අවස්ථාවක් තිබෙනවාද ?

බැංකුවක හෝ මූල්‍ය ආයතනයක සේවය කරන ප්‍රධානියෙකුට Designing වගේ දෙයක් ඉගෙන ගන්නට ආසාවක් තියෙනවා නම් එම විෂය හැදෑරීමෙන් ඔහුට හෝ ඇයට අමතර ආදායම් මාර්ග උපයා ගන්න හැකියාවක් උදාවෙනවා. මන්දයත් වර්තමානයේ Online රැකියා අවස්ථා බොහෝමයි. තමන්ගේ ආශාව අනුව ඉගෙන ගන්න එකට වයස හෝ තමන් නියැළෙන වෘත්තිය බාධාවක් විය යුතු නැහැ. 
අපිට විදෙස් විශ්වවිද්‍යාලයක තිබෙන පාඨමාලාවක් වුවත් ලංකාවේ සිට ඕනෑම වෙලාවක ඉගෙන ගන්නට දැන් අවස්ථාව තිබෙනවා. ඒ සඳහා සැකසුණු වෙබ් අඩවි පවා සැකසී තිබෙනවා. ඒ වගේම ලෝකයේ දැන් තිබෙන ප්‍රවණතාව වන්නේ ක්ෂේත්‍ර කිහිපයකින් අධ්‍යාපනය හැදෑරීමයි. Online ඉගෙන ගැනීමට අවස්ථාවන් තිබෙන නිසා අපිට දැන් නොමිලයේ ඕනෑම දෙයක් ඉගෙන ගන්න හැකියාව ලැබී තිබෙනවා. 

ඕනෑම කෙනෙක්ට පරිගණක දැනුම අවශ්‍යයි. ඒ වගේම මානව හිමිකම් වගේ ක්ෂේත්‍ර ඉගෙන ගැනීම ඕනෑම ක්ෂේත්‍රයක සිටින කෙනෙකුට ප්‍රයෝජනවත්. නමුත් මේ අමතර හා බාහිර ඉගෙන ගැනීම්වලදී තමන්ගේ ප්‍රධාන අරමුණ අමතක වෙන්න ඉඩ නොදිය යුතුයි.

කලා විෂයන් හැදෑරීමේදී සාම්ප්‍රදායික විෂයන්ගෙන් බැහැරවීම මත රැකියා වෙළෙඳ පොළ ජයගත හැකිද?

කුමන විෂයකින් ඉගෙන ගත්තත් රැකියා වෙළෙඳ පොළේ අවස්ථාවන් හොයාගන්න එක තමන්ගේ දක්ෂතාව මතයි තීරණය වෙන්නේ. ඒ අනුව තමන් සේවා වියුක්තිකයෙකු ලෙස සිටින්නේ රැකියාවන් කීපයකට ඉල්ලුම් කිරීමෙන් පසුවද කියන දේ තමන් තේරුම් ගත යුතුයි. 
ඒ අනුව ඉගෙන ගත්තත් රැකියාවන් නැහැ කියලා කියන්න කාටවත් බැහැ. ඉතින් රැකියා නැහැ කියලා හිතන්නේ නැතිව රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස තමන්ගේ අධ්‍යාපනය හා හැකියා, නිපුණතා පුරවා ගැනීමයි සිදුවිය යුතු වෙන්නේ.

ඔබේ දරුවාට පාසලක් හෝ පෙරපාසලක් තෝරා ගැනීමේදී ඔබට දැනගැනීම සඳහා පළ කරගතයුතු කරුණු ඇතිනම්  0112479643 දුරකථන අංකය හරහා අපට දැනුම් දීමට හැකියාවක්  පවතියි.

නදීශානි පතිරණ

 

 

3 comments

Naduni Rusirika

03 years 07 months 02 days 17 hours 49 minutes 03 seconds ago

අපරදිග සංගීතය

Reply

Manuli

02 years 08 months 16 days 12 hours 36 minutes 13 seconds ago

Commerce subject eka karala bank ekaka job ekata yanna puluwnda?bank manager kenek wenna.ekata momawada karanna one? Salary eka kiyak witara tyeda bank manager kenekta?

Reply

Tharutharu

02 years 05 months 09 days 17 hours 10 minutes 25 seconds ago

A/L maths ekka ICT karala yanna puluwn kshethra monwd? Accountant wge job ekk krnn puluwnd

Reply

Leave a Reply

Post Comment