වැඩට යන කාන්තාවන් මේ දවස්වල රටේ පවතින වාතාවරණය නිසා නිවසට වෙලා හැකි ආකාරයෙන් වැඩ  කරනවා විය හැකියි. එලෙස කටයුතු කරද්දී වෙනදාට වඩා ඉවුම්පිහුම් කටයුතු ආදියේ නිරත වෙන්නට සිදුවෙනවා නොඅනුමානයි. මෙවන් වාතාවරණයක් පවතින විට එළවළු වර්ග වලට වඩා සෝයා, කඩල, මුං වැනි ධාන්‍ය එක්රැස් කරගන්නට ඔබත් කටයුතු කරන්නට ඇති. ඒ නිසාම මෙවැනි කාලයකදී ඔබේ අතින් පිසින ආහාර ඒකාකාරී නොවන්නට අප විසින් නවතම වට්ටෝරු කිහිපයක් ගෙන එන්නට අදහස් කළා. චෙෆ් ශාලික සේනාධීර ගෙන එන මෙම වට්ටෝරු ඔබේ පවුලේ සියලු දෙනාට නැවුම් රසයක් එක්කරනු නොඅනුමානයි.

කඩල සෝයාමීට් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • සෝයාමීට් පැකට් 1 ( ග්‍රෑම් 60) 
  • තම්බාගත් කඩල කෝප්ප 01
  • බිත්තර 02
  • ලොකු ලූණු ගෙඩියක්
  • අමු මිරිස්
  • කරපිංචා 
  • සුදු ලූණු 
  • ඉගුරු
  • කුරුදු කැබැල්ලක් 
  • එනසාල් කරාබු නැටි ස්වල්පයක් 
  • ලුණු කුඩු
  • කෑලි මිරිස්
  • තක්කාලි ගෙඩියක්
  • මාලු මිරිස් කරලක්

සාදන ආකාරය

හොඳින් තම්බා වතුර මිරිකාගත් සෝයා මීට්, කඩල, සුදු ලූණු, ඉඟුරු කැබැල්ලක්, කරපිංචා, අමු මිරිස් කරල් 2, කැබලි සිටින ලෙස බ්ලෙන්ඩර් කරගන්න. එම මිශ්‍රණයට බිත්තර,ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු දමා බෝල සාදාගන්න. එම සාදාගත් සොයා මීට්බෝල ස්ටීම් කරගන්න. හොඳින් ස්ටීම් වූ බෝල නිවුණු පසු ගැඹුරු තෙලේ බැදගන්න. වළඳක් ලිප තබා තෙල් ටිකක් දමන්න. එයට කුරුදු, එනසාල්, කරාබු නැටි, සුදු ලූණු, ඉඟුරු, ලූණු, මාලු මිරිස්, තක්කාලි, කෑලි මිරිස්, ලුණු කුඩු දමා කළවම් කරන්න. හොඳින් තෙම්පරාදු වන විට බැදගත් සෝයා මීට් බෝල එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

කුඩා දරුවන්ට රසවත් අල බෝල

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තම්බා පොඩි කරගත් අල කෝප්ප 2 
  • ගසාගත් බිත්තර 1
  • ලුණු 
  • ගම්මිරිස් ස්වල්පයක් 
  • කිරි කෝප්ප 1/2
  • බටර්
  • පාන් කුඩු 

සාදන ආකාරය 

බටර් හා කිරි භාජනයකට දමා ලිප තබා හැඳි ගාමින් උතුරුවාගන්න.එයට ලුණු ගම්මිරිස් සහ අල එක්කර හොඳින් මිශ්‍ර කරන්න. නිවුණු පසු පැයක් පමණ ශිතකරණයේ තබාගන්න. මෙම අල මිශ්‍රණයෙන් කුඩා බෝල සදා බිත්තර දවටන්න.පාන් කුඩු වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න. වැඩි රසයක් සදහා මොසරැල්ලා චීස් ස්වල්පයක් අල මිශ්‍රණයට එක්කල හැකිය.

ඉන්දියානු රසට කඩල කරියක්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කඩල කෝප්ප 02
  • කුඩා තක්කාලි ගෙඩියක්
  • ලියාගත් රතු ලූණු ගෙඩි 5
  • තලාගත් සුදු ලූණු බික් 2
  • අමු මිරිස් කරල් 2ක් ඇලයට කපාගන්න
  • අමු තුනපහ තෙ හැඳි1
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 1/2
  • කහ කුඩු  තේ හැඳි 1/2
  • අබ තේ හැඳි 1
  • උලු හාල් ස්වල්පයක් 
  • කුරුදු කැබැල්ලක් 
  • මිටිකිරි හා  දිය කිරි කෝප්ප 1  බැගින්
  • රම්පේ කරපිංචා 
  • තෙල්
  • රස අනුව ලුණු 

සාදන ආකාරය 

කඩල තම්බා ගන්න. පෑන් එකක් ලිප තබා තෙල් ස්වල්පයක් එක්කර ගන්න. එය රත්වන විට අබ,සුදු ලූණු, රතු ලූණු , රම්පේ කරපිංචා දමා බැදෙන්නට හැර තෙල් බේරා වෙනම තබාගන්න. කඩල ටික දිය කිරි සහ ඉතිරි ද්‍රව්‍ය එකතුකර ලිප තබන්න. දියකිරි හිදීගෙන එනවිට මිටිකිරි එක්කරන්න. කරිය උතුරන විට පෙර සකස්කරගත් තෙම්පරාදුව එක්කරන්න. යෝගට් මේස හැන්දක් හෝ පොඩිකර ගත් කඩල මේස හැන්දක්  එක් කිරීමෙන් කරිය උකු කරගත හැකිය.

සැමන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පොඩි සැමන් ටින් 1
  • උකු පොල්කිරි කෝප්ප 1/4
  • කුඩාවට කපාගත් රතු ලූණු හා අමු මිරිස්
  • කුඩා තක්කාලි ගෙඩි 01
  • තලාගත් සුදු ලූණු බික් 2
  • රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
  • එනසාල් කරලක්
  • කුඩා කුරුදු කැබැල්ලක් 
  • තුනපහ තේ හැඳි 1/2
  • කහ කුඩු තේ හැඳි 1/4
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • මාගරින් හෝ තෙල් ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු 
  • රස අනුව ලුණු 

සාදන ආකාරය 

පළමුවෙන් ඇතිළියක් මද ගින්නේ ලිප තබා තෙල් එකතු කරන්න. එයට මිරිස් කුඩු ටික එක්කර බැදෙන්නට හරින්න. එයට සුදු ලූණු, රම්පේ, කරපිංචා, තක්කාලි, එනසාල්, කුරුදු, තුනපහ, ගම්මිරිස්, කහ ආදිය එක්කර තෙම්පරාදු කරගන්න. අනතුරුව සැමන් ටින් එකේ වතුර ටික එක්කර ගන්න. එය උතුරන විට පොල්කිරි එක්කර සැමන් කැබලිද එක්කර ගන්න. කිරි උතුරා තෙල් පෑදී කරිය උකුවන තුරු පිසගන්න. ලිපෙන් බාගත් පසු අවශ්‍යනම් දෙහි යුෂ ටිකක් එක්කරන්න.

නදීෂානි පතිරණ

 

 
 

0 comments

Leave a Reply

Post Comment