ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම වෙනත් උණ හා ප්‍රතිශ්‍යා රෝග මෙන්ම වෛරස් කාණ්ඩයේ රෝගද මේ දිනවල පැතිර යයි. මේ නිසාම බොහෝ දෙමාපියන් තමන්ගේ දරුවන් ඒවාගෙන් රැකගැනීම උදෙසා විවිධ පිළියම් සොයමින් ඒවා අනුගමනය කිරීමට උත්සහ දරයි. ඖෂධ වර්ග, අත්බෙහෙත් මෙන්ම විවිධ කෑම බීම වර්ග ලබාදෙමින් මවුවරුන් සැබැවින්ම උත්සහ දරනුයේ තමන්ගේ දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමටය. සත්‍ය වශයෙන්ම ආහාරපාන වර්ග මගින් අපගේ ප්‍රතිශක්තිය වර්ධනය කර හැකිද? එසේම ලෙඩරෝගවලින් ආරක්ෂා විය හැකිද? මේ පිළිබඳව මානව පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා මහතාගෙන් ‘සුවැති තුළින් අපි මෙලෙස විමසා බැලුවෙමු.

''අපේ ශරීරයේ ආහාර ජීර්ණය වීමට, බහිශ්‍රාවය ආදී පද්ධතීන් ගණනාවක් පවතිනවා. එලෙස පවතින තවත් එක් වැදගත් පද්ධතියක් වනුයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. නමුත් මෙය එක් ස්ථානයක නිශ්චිතව පවතින එකක් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව ඇතැමුන් දැනුමවත්භාවයෙන් අඩු බවක් පෙන්නුම් කරනවා. නමුත් මිනිස් ශරීරය ආරක්ෂා කරන පද්ධතිය නැතහොත් අපව ලෙඩරෝගවලින් ආරක්ෂා කරන පද්ධතිය වනුයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. 

අපගේ ශරීරයට ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන බලපෑම්, නැතිනම් අපේ ශරීරයට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වී අපේ ශරීරයේ යම් යම් කොටස්වලට හානි කරමින් වර්ධනය වීම වළක්වන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. ඇතැම් වෙලාවට අපේ ප්‍රතිශක්තිය ලබාදෙන මේ පද්ධතිය අසාර්ථක වීම සිදුවෙනවා. එය බොහෝ වේලාවට සිදුවන්නේ වෛරස් නිසායි. මෑතක සිට ඇතිවී තිබෙන කොරෝනා වෛරසය ඊට එක් උදාහරණයක්. නමුත් අපි බැලුවොත් වෛරස්වලට හැමෝම ගොදුරු වෙන්නේත් නැහැ. යම් අයගේ ශරීරයන්ට අනෙක් අයගේ ශරීරවලට වඩා ආරක්ෂාවක් සපයා ගැනීමට හැකියාවක් ලැබී තිබීම එයට හේතු වෙන්නට පුළුවන්.

නමුත් යම් වෛරසයකට එරෙහිව එක් වරම අපේ ශරීරයට සටන් කිරීමේ හැකියාවක් තිබෙනවා යැයි අපිට කල් ඇතිව කියන්න අමාරුයි. නමුත් ඒ රෝගය දරුණු තත්ත්වයකට යා නොදී වළක්වා ගැනීමට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට හැකියාවක් තිබෙනවා.

මේ දවස්වල බහුලව කියැවෙන දෙයක් තමයි ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නට යම් යම් දේවල් ආහාරයට ගැනීම සුදුසුවන බව. 

ඒඅනුව අපේ කෑම වර්ගවලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිද? යන්න පිළිබඳව අවධානය යොමුකිරීම වටිනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ ශරීරය පුරා විවිධ තැන්වල පැතිර පවතිනවා. ශරීරයේ පවතින සෛල මෙම ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. මේ සෛල හා අනෙකුත් පටක අතර සහ සම්බන්ධතාවක් පවත්තින අතර, ඒ නිසාම මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවක් බවට පත්වෙනවා. එසේනම් මේ සංකීර්ණ ක්‍රියාවලිය එක් ආහාර වර්ගයකින්, එක් රසායන ක්‍රියාවලියකින්, සෛලවල ක්‍රියාකාරීත්වය එක හා සමාන ලෙස ප්‍රතික්‍රියා දක්වන ආකාරයකට පත්කරගත හැකි යැයි අපට අපේක්ෂා කළ නොහැකියි. 

අපිට ඖෂධ මිලදී ගන්නා ඔසු සැලකට ගියාම ප්‍රතිශක්තිය වැඩිකරන නිෂ්පාදන රැසක් දැකගත හැකියි. ඒ වගේම වෙළෙඳ දැන්වීම් හරහා හෝ මුහුණු පොතේ ප්‍රතිශක්තිය වඩවන බවට සඳහන් විවිධ නිෂ්පාදන පිළිබඳ හඳුන්වා දීම් සිදුකරනු දැකගත හැකියි. නමුත් ඒ කිසිවක ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම සිදුකරන ආකාරය පිළිබඳ ඔප්පුකර, නිශ්චිතව දැක්වීමක් සිදු කරන්නේ නැහැ.

සමස්තයක් වශයෙන් ගතහොත් ශරීරයේ ලෙඩරෝග වළක්වා ගැනීමේ අංක එකේ ඉදිරි ආරක්ෂක වළල්ල වන්නේ  සෞඛ්‍යානුකූල දිවි පෙවෙතයි. සෞඛ්‍යානුකූල දිවි පෙවෙතක් ගතකරන පුද්ගලයෙකු තුළ ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහොම බලවත් හා නිරෝගීව පවතිනවා. එසේ නම් අප සෞඛ්‍යානුකූල දිවිපෙවෙතක් යනු කුමක්ද? යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතු වෙනවා. ඒ සඳහා පහත කරුණු වැදගත් වෙනවා.

දුම් බීමෙන් තොර වීම
එළවළු හා පලතුරු වැඩි ප්‍රමාණයක් අපේ ආහාර වේලට එකතු කරගැනීම.

(මෙහිදී ශ්‍රී ලාංකිකයන් වන අපි සමස්තයක් වශයෙන් එළවළු හා පලතුරු බොහෝම සුළු වශයෙන් ආහාරයට ගන්නට හුරු වෙලා තිබෙන බව කිව යුතුමයි. එළවළු පලතුරුවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම ප්‍රධාන වශයෙන් සිදුවෙනවා)

ව්‍යායම්වල යෙදීම හෝ ඇඟ වෙහෙසා වැඩ කිරීම. (මේ තුළින්ද අපට නිරෝගී දිවි පෙවෙතක් ගතකළ හැකිය)
නියමිත උස හා බර පවත්වා ගැනීම.
මද‍සාරවලින් තොරවීම හා මද‍සාර භාවිත කරන අයෙකු නම් නිර්දේශිත උපරිම මට්ටම ඉක්මවා නොයෑම.
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම.
ආතතියෙන් තොර වීම.
පිරිසුදුව ජීවත් වීම.

මෙසේ බලන විට වෙළෙඳ ප්‍රචාර මගින් හෝ යම් අය කියන අයුරෙන් යම්කිසි ආහාරයකින් හෝ යම්කිසි නිෂ්පාදනයකින් අපේ ප්‍රතිශක්තිය එකවර වර්ධනය කරගත නොහැකි බව පෙනී යන්නක්. ශරීරයේ ප්‍රතිශක්තිකරණයට ඉවහල් වන සෛල උවමනාවට වඩා උත්තේජනය කරන්නට  යම් යම් සංයෝග භාවිත කිරීම හානිදායක විය හැකියි. 

මෙම සෛල උවමනා ප්‍රමාණයට වඩා උත්තේජනය වීමෙන් ඉතා නරක ප්‍රතිඵල අත්විඳින්නට වුවද සිදු විය හැකිය. ඇතැම් අවස්ථාවක හෘදයාබාද ඇති කිරීමටද මෙය හේතු විය හැකියි. එසේම ඇතැම් පිළිකාමය තත්ත්වයන් ඇතිවීමටද, අපේ ශරීරයේ තිබෙන ඇතැම් සෛල මරා දමන තත්ත්වයකට වුවද පත්විය හැකියි. එම නිසා අනවශ්‍ය ලෙස රසායන සංයෝග භාවිත කරමින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට යෑම සුදුසු නොවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීම අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් විසින් යම් ඖෂධ ලබාදීම පමණක් නිර්දේශ කළ හැකිය. 

එච්.අයි.වී. වෛරසය තිබෙන පුද්ගලයෙකුගේ ශරීරයේ සිදුවනුයේ එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමය. ඒ නිසා ලෙඩ රෝගවලට ගොදුරු වී එම පුද්ගලයා අවසානයේ මිය යනවා. මේ වගේ ඇතැම් වෛරස් අපේ ශරීරයට ඇතුළු වෙලා ශරීරයේ ආරක්ෂක වළල්ල වන ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරනවා.  ඒ ලෙස අපි පිටස්තරයෙන් ලබාගන්නා සංයෝගවලටත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුකරන්නට පුළුවන්. එය ගැටලුවක්.

එසේ නම් අපි සිදුකළ යුතු වන්නේ මේ ආරක්ෂක වළල්ල ශක්තිමත්ව පවත්වා ගැනීමයි. පුද්ගලයෙක් වයසට යෑමත් සමග අපේ මෙම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හීන වෙනවා. ඒ නිසයි වයසක අයට විවිධ රෝගාබාධ බහුලව වැලඳෙන්නේ. ඉන්ෆ්ලුවෙන්සාව, නිව්මෝනියාව වගේ තත්ත්වවලට ඔවුන් ගොදුරු වෙලා මිය යෑමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එතරම් ප්‍රශස්ත මට්ටමට පැමිණ නොතිබීම නිසා ලෙඩ රෝගවලට ඉක්මනින් ගොදුරු වීමේ හැකියාවක් පවතිනවා. තරුණ වයස්වල සිටින අයගේත් පවතින යම් යම් සෞඛ්‍ය ගැටලු නිසා ප්‍රතිශක්තිකරණයේ ගැටලු ඇතිවිය හැකියි. විශේෂයෙන් වෛරස්වලට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන්නට පුළුවන්. එසේ නම් එළවළු හා පලතුරු ඇතුළු ආහාරවලින් අපේ ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන්ද කියනදේ පිළිබඳව අප සොයා බැලිය යුතුයි.

ඇතැම් පෝෂණ සංඝටක තිබෙනවා අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සෘජුවම සම්බන්ධ වන. ඒවා තමයි ‘සින්ක්’, සෙලීනියම් වැනි ඛනිජ, ‘යකඩ, ‘කොපර්, ‘විටමින් වර්ග වන ‘විටමින් ඒ, ‘විටමින් බී, ‘විටමින් ඊ හා ‘විටමින් සී යන සංයෝගත්, ෆෝලික් අම්ලයත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම සම්බන්ධ වෙනවා. නමුත් මෙම සංඝටක සෘජුවම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන බවට පරීක්ෂා කර ඇත්තේ සතුන් යොදා සිදුකළ පරීක්ෂණවලිනුයි. ඉතින් හරියටම මිනිස්සුන්ගේත් ප්‍රතිශක්තිකරණය මේ සංඝටකවලින් ඉහළ දැමිය හැකිද යන්න පිළිබඳව අපිට කිව නොහැකියි. 

නමුත් විටමින් ඒ, විටමින් සී වගේ දේවල් අපේ ආහාරවල බහුලව අඩංගු වෙනවා. ඒ නිසා එළවළු හා පලතුරුවලින් ලොකු කාර්යක් සිදුවන බව කිව හැකියි. සැමවිටම ඖෂධ ලෙස නොව ස්වභාවික එළවළු හා පලතුරුවලින් මෙම විටමින් හා සංඝටක ලබාගැනීම නුවණට හුරු වෙනවා.

මීළඟට අපිට නැගෙන ගැටලුවක් වන්නේ අත්බෙහෙත් නැත්නම් ශාකමය සංඝටකවලින් ප්‍රතිශක්තිය වැඩි කරනවාද යන්නයි. ඇතැම් රටවල්වල කොත්තමල්ලි, ඉඟුරු වගේ දේවල් ඖෂධීය පාන ලෙස භාවිත කරනවා. නමුත් මේ ඖෂධීය පාන දිනපතා පාවිච්චි කරන්න කියලා කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. මෙම ඖෂධ අපේ පළපුරුද්ද හා අත්දැකීම් මත ගුණදායක බව දන්නා නමුත්, ඒවා උවමනාවට වඩා පාවිච්චි කළ යුතු නැහැ. ඒ නිසා දිනපතා කොත්තමල්ලි බීම හෝ දිනපතා වෙනිවැල්ගැට තම්බා බීම සිදුනොකළ යුතුයි. එවැනි අත්බෙහෙත් දිනපතා පාවිච්චියට ගන්නේ නම් ඒ පිළිබඳ දැනුම ඇති ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතුයි. 
ඒ වෙනුවට එකම වර්ගයේ නොවන විවිධ කොළ වර්ගවලින් සකස් කරගත් කොළ කැඳ පානය කිරීම යෝග්‍ය වෙනවා. එවිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත මට්ටමේ පවත්වා ගතහැකි වෙනවා. අවසාන වශයෙන් අපගේ මානසික පීඩනය පාලනය කරගැනීම තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙන බව කිව හැකියි.''

 

0 comments

Leave a Reply

Post Comment