ළමා පරපුර රටක, ලෝකයක අනාගතයයි. ලොවක් ලස්සන කිරීමට නිරෝගීමත් ළමා පරපුරක් බ්හිවීම අත්‍යවශ්‍යය. වර්තමානයේදී ලෝකයේ බිහිවන දරුවන්ගෙන් යම් ප්‍රතිශතයක් උපත් ආබාධයන්ගෙන් පෙළෙති. මෙම උපත් ආබාධයන් ඇතිවීමට ගර්භිණී සමයේදී මව ජීවත්වන වටපිටාව, ඇගේ ජීවන ක්‍රියාකාරකම් සහ ආශ්‍රය කරන පුද්ගල සම්බන්ධතා සහ ක්‍රියාවන් තදින්ම බලපානු ලබයි. 

සෑම වසරකම මාර්තු තුන්වැනිදා ලෝක උපත් ආබාධ වළක්වා ගැනීමේ දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් තබා තිබේ. මෙදිනට උපත් ආබාධයන්ගෙන් තොර නිරෝගී දරුවන් බිහිකිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ලෝකය පුරාම විවිධ වැඩසටහන් පැවැත්වේ.

උපත් ආබාධයන්ගෙන් තොර නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකිරීම සඳහා ගැබිනි මවුවරුන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මාධ්‍ය සම්මන්ත්‍රණයක්ද පැවැත්විණි. එහිදී අනාවරණය වූ කරුණු ඔස්සේ මෙම ලිපිය සකස් වී ඇති අතර, ගැබිනි මවුවරුන්, මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්, මෙම ලිපියට වැඩි අවධානයක් ලබාදෙතැයි අපි අපේක්ෂා කරන්නෙමු. 

ලෝකය පුරාම මිලියන අටක් පමණ 'උපත් ආබාධ' සහිත දරුවන් සෑම වසරකදීම ළමා පරපුරට එක්වෙති. ඇමෙරිකාව වැනි  දියුණු රටවල් තුළ සෑම මිනිත්තු 4½කටම වරක් මෙවැනි උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවේ. උපතින් පළමු වසර තුළදීම මිය යන බොහෝ දරුවන්ගේ මරණයට ප්‍රධාන හේතුවක් ලෙස උපත් ආබාධයන්ගෙන් පෙළීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ සෑම වසරකදීම 360,000ක් පමණ කාන්තාවන් සංඛ්‍යාවක් ගර්භිණී භාවයට පත්වන අතර, ඉන් 326,000ක් සජීවී දරු උපත් ලබයි. 

නමුත් මින් දරුවන් 5800ක් විවිධ උපත් ආබාධ සහිතව උපත ලබයි. තවද එම දරුවන්ගෙන් දරුවන් 650ක් පමණ වාර්ෂිකව සිය පළමු උපන් දිනය සැමරීමටත් පෙර මරණයට පත්වෙයි. උපත් ආබාධයන්ගෙන් 30%ක් දරුණු උපත් ආබාධ වන අතර, එම දරුවන් ජීවත් වුවත් ඔවුන්ට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට නොහැකි බව වෛද්‍යවරු පවසති. 

නමුත් බොහෝ උපත් ආබාධ වළක්වා ගතහැකි වනවා පමණක් නොව උපත් ආබාධසහිතව ජීවත් වන දරුවන්ට ප්‍රශස්ත දිවි පැවැත්මක්ද ලබාදිය හැකිය. එමෙන්ම උපත් ආබාධ හේතුවෙන් සිදුවන ව්‍යාධි තත්ත්වයන් සහ මරණ පිළිබඳව ලෝකය පුරාම රටවල්වල ලබා දී ඇති ප්‍රමුඛතාවද අවම බව මාධ්‍ය සම්මන්ත්‍රණයේදී හෙළි විය. 

'ජානමය හෝ පාරිසරික සාධක හේතුවෙන් ගර්භය තුළදීම ශරීර කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරීත්වයේ විකෘතිතාවන්'උපත් ආබාධයන් ලෙස හඳුන්වයි. මෙම විකෘතිතාවන් ගර්භිණී සමයේදී හෝ උපතේදී හෝ උපතින් පසු කාලයේදී හඳුනා ගැනේ.

ලංකාවේ උපත් ආබාධ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී 24%ක් පමණ ඇත්තේ හෘදය සම්බන්ධ උපත් ආබාධ රෝගයන්ය. 20.3%ක් පමණ 'ගාත්‍රා ආබාධ' හෙවත් කකුල් දෙකේ පිහිටීමේ තිබෙන ගැටලු වන අතර 'පැලි තොල්' හෙවත් තල්ලේ ආබාධ 8.5%ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. තවද ජානමය ආබාධ (ඩවුන්ස් සහ ලක්ෂණය හා ඒ ආශ්‍රිත) 6.7%ක්, ස්නායු නාල ආබාධ 5.9%ක්, වකුගඩු ආබාධ 2.7%ක්, සුළු ආබාධ 10.1%ක් හා අනෙකුත් ආබාධ 21.9%ක් පමණ ලංකාව තුළින් වාර්ෂිකව වාර්තා වන උපත් ආබාධ තත්ත්වයන්ය. 

උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවන්නට හේතු කවරේද?

මෙම උපත් ආබාධ ඇති වීමට හේතු රැසක්ම බලපානු ලබයි. දුම්පානය, මත්පැන් භාවිතය සහ මත්ද්‍රව්‍ය භාවිතයට විශාල නැඹුරුතාවක් යම් යම් ජන සමාජයන් තුළ වර්තමානයේදී දැකගන්නට ලැබේ. මෙම තත්ත්වය කුස තුළ වැඩෙන කලලයන්ට හා දරුවන්ට අයහපත් ලෙස බලපානු ලබයි. එය උපත් ආබාධයන් සහිත දරුවන් බිහිවීමට ප්‍රධානම හේතුවක් ලෙස වෛද්‍යවරු පෙන්වා දෙයි. එමෙන්ම අධි ස්ථුලතාවන් සහිත මවුවරුන්ට බිහිවන දරුවන්ටද මෙවැනි සංකූලතා ඇති වීමට විශාල ඉඩකඩක් තිබේ. තවද ගර්භිණී සමයේදී ගැබිනි මවුවරුන් විසින් ලබාගන්න ඇතැම් ඖෂධ වර්ගවලින් වැලඳිය හැකි අතුරු ආබාධයන්ද උපත් ආබාධ සහිත දරුවන් බිහිවීමට බලපානු ලබන තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැක. මවකට ගර්භිණී සමයේ හෝ ඊට පෙර පැවැති දියවැඩියාව වැනි රෝග තත්ත්වයනුත්, ඊට පෙරත් මෙවැනි උපත් ආබාධ සහිත දරුවෙකු සිටියේ නම් එම ප්‍රවේණිය හරහා අනෙක් ළමයාටද මෙවැනි උපත් ආබාධ තත්ත්වයන් ඇති වීමට හැකියාවක් තිබෙන බවද වෛද්‍යවරු පෙන්වා දෙති. එමෙන්ම මවට වයස අවුරුදු 34 - 35න් පසුව ඇතිවන ගර්භයන්ටද උපත් ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකි බව මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේදී හෙළි විය. එමෙන්ම හෘදරෝග වැනි උපත් ආබාධයන් දරුවෙකුට ඇති වීමට ඉහත කී සාධකයන් එකක් හෝ කිහිපයක් බලපාන බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.  

උපත් ආබාධයන් වළක්වා ගැනීමට කළ හැක්කේ කුමක්ද?

මෙවැනි උපත් ආබාධයන් වළක්වා ගැනීමට 'ප්‍රාථමික වැළැක්වීම' යටතේ දරුවෙකු මවගේ කුස තුළට පැමිණීමට පෙර 'ෆෝලික් ඇසිඩ්' ලබාගැනීම, ශරීරයේ ස්ථුලතාව අඩු කර ගැනීම, ශරීරය මනා සෞඛ්‍යයකින් පවත්වා ගැනීම වැනි දෑ මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනා කාන්තාවන් විසින් සිදුකළ යුතුය. එමෙන්ම 'ද්වීතීයික වළක්වා ගැනීම' ක්‍රමය ඔස්සේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම හඳුනා ගැනීම, තෘතීයිකව හඳුනාගත් තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය කිරීම වැනි ප්‍රතිකාරයන් කර ගැනීම තුළින් උපත් ආබාධ තත්ත්වයන් ඇතිවීම අවම කරගත හැකිය. 

තවද මිනිස් සිරුරේ රෝගයන් ගණනාවකටම ප්‍රධාන හේතූන් ලෙස සැලකෙන දුම්පානය, මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම සහ එවැනි ස්ථාන තුළ ගැවසීමෙන් වැළැකී සිටීම තුළින්ද මෙම උපත් ආබාධ ඇතිවීම වළක්වා ගත හැකිය. එමෙන්ම විවිධ විකිරණයන්ට මුහුණදීමෙන් වැළකී සිටීම ගැබිනි කාන්තාවකගේ ප්‍රධාන වගකීමකි.

සෞඛ්‍යවත්, ගුණාත්මක ආහාර රටාවකට හුරු වීම, ව්‍යායාම සිදු කිරීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු නව යෞවනියන් ලෙසම පවත්වා ගතයුතු වන අතර, මවක් වීමට පෙර කාන්තාවක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම, තමන් යම් රෝගයකට දීර්ඝකාලීනව ඖෂධ ගන්නේ නම් ගැබ් ගැනීමට පෙර ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම, පවුලේ මෙවන් උපත් ආබාධයක් සහිත පුද්ගලයෙකු සිටීනම් පවුලේ ඉතිහාසය පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර උපදෙස් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය කරුණු ලෙස දැක්විය හැක. මෙම පිළිවෙත් සහ උපදේශනයන් පිළිපැදීම තුළින් උපත් ආබාධ සහිත දරුවන් බිහිවීම වළක්වා ගතහැකි බව මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයට එකතු වූ වෛද්‍යවරුන් පෙන්වා දුන්නේය.

කැළුම් දේවින්ද 

0 comments

Leave a Reply

Post Comment