නාපාන පේමසිරි නාහිමියෝ දැයෙන් සමුගනිති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු පාඩුවක් බව ජනාධිපතිවරයා කියා සිටී.
අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර පරිවෙනාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
1922 නොවැම්බර් 30 වන දින මහනුවර නාපාන ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට අනු අට වන වියෙහි පසුවූහ. 1933 වසරේ දී පැවැදි දිවියට පිවිසි උන්වහන්සේ 1943 වසරේදී උපසම්පදාව ලැබූහ.
ලොව කීර්තිධර මහා තෙරුන්වහන්සේට බුරුම රජය පිරිනමන “අග්ගමහා පණ්ඩිත” සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 2012 වසරේ දී ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත්ව අපවත්වන තුරුම එය හෙබවූහ.
නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ.
මහා නායක, අනුනායක නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ මැති ඇමතිවරු, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු දායක සභාව සහ ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.











popular news
-
Champa Sunday, 22 November 2020 09:32 PM
රාමඤ්ඤ නිකායේ මහනායක හාමුදුරුවෝ අපවත් වෙලා දවස් 6ක් ගිහිල්ල, ආදාහන දවස වෙනකම් ජනාධිපතිවත් අගමැතිවත් ඒ ගැන ශෝකය පල කරලා කිසිම නිවේදනයක් නිකුත් කලේ නැහැ. ශාසනයට අති විශාල සේවාවක් කල මහනායක හාමුදුරුවන්ව නිදහස් චතුරශ්‍රයේ ආදාහනය කරන්න තිබ්බේ. ලක්ෂමන් කදිරගාමර්ව නිදහස් චතුරශ්‍රයේ ආදාහනය කළා. හැබැයි රාමඤ්ඤ නිකායේ මහනායක හාමුදුරුවන්ට ඒ තරම්වත් ගෞරවයක් දෙන්න රාජපක්ෂලාට බැරි වුනා. කථානායක ප්‍රතික්ෂේප කලාලු මහනායක හාමුදුරුවෝ ගැන පාර්ලිමේන්තුවේ ගුණකථනයක් කරන එකත්. හේතුව පාර්ලිමේන්තු රෙගුලාසිලු. ආණ්ඩු පක්ෂයට බැරි වුනාද දවස් 6ක් තිස්සේ ගුණ කථනයක් ගැන යෝජනාවක්වත් ගේන්න? මේ තමයි රාජපක්ෂලා හාමුදුරුවරුන්ට සලකන විදිහ. තමන්ගේ වැඩේ කෙරෙනකම් මහනායක හාමුදුරුවරු පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉවත දමනවා. කරු ජයසූරිය කථානායක වෙලා හිටියා නම් කවදාවත් රාමඤ්ඤ නිකායේ මහනායක හාමුදුරුවෝ අපවත් වීම ගැන පාර්ලිමේන්තුවේ කතා නොකර ඉන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

