අප මින් පෙරද කියූ පරිදි වර්තමානයේ පුද්ගල පරිගණක සහ වර්ක්ස්ටේෂන් පරිගණක හැඩය සහ ප්‍රමාණය අතින් සමාන වන අතරම, සාමාන්‍ය ලැප්ටොප් පරිගණක මෙන්ම ගේමින්ග් ලැප්ටොප් පරිගණකයන්ද ක්‍රමයෙන් සිහින් වෙමින්, හුරුබුහුටි වෙමින් එකම ප්‍රමාණයක් සහ හැඩයක් කරා ගමන් ගනිමින් සිටී.
විශේෂයෙන්ම මෑතකදී වෙළෙඳ පොළට නිකුත්වූ ප්‍රබල ගේමින්ග් පරිගණකයන් පවා සාමාන්‍ය ලැප්ටොප් උපාංගයකින් වෙනස් වූයේ ගේමින්ග් ලැප්ටොප් උපාංගයේ ඇති අධි තාක්ෂණික උපාංගයන් සිහිපත් කරවනා නිමාව සහ හැඩය සමගින් පමණි.
මෙසේ ප්රබලතාෙවන් කෙතරම් වැඩි වුවත් නිමාවෙන් සිහින් වීමට අභිනවයෙන් නිර්මාණය වන දෘඩාංගයන්ද ඉහළ සහායක් ලබාදී ඇත. Nvidia සමාගමේ නව Max Q ග්‍රැෆික් ප්‍රොසෙසරය ඊට උදාහරණයකි.
පිටත පෙනුම මෙසේ අතිශයින්ම සමාන වූවත්, හැකියාවන් සම්බන්ධයෙන් එය එසේ කිවහැකි නොවේ. බොහෝවිට පරිගණක ක්‍රීඩා වෙතද ඇල්මක් දක්වන, එහෙත් පරිගණක ක්‍රීඩා වෙනුවෙන්ම ගේමින්ග් පරිගණකයක් මිලදී ගැනීමට අවශ්‍ය නොවන පරිශීලකයෙකු තමන්ගේ භාවිතය සඳහා ලැප්ටොප් උපාංගයක් මිලදී ගැනීමේදී, අනෙකුත් ක්‍රියාකාරකම් අතරේ පරිගණක ක්‍රිඩාද කළ හැකි ආකාරයෙන් හොඳ ග්‍රැෆික් ප්‍රොසෙසරයක්ද සහිතව එය මිලදී ගැනීමට වගබලා ගනී.
කෙසේ නමුත් මෙහිදී මතුවන ගැටලුව වන්නේ ශීඝ්‍රයෙන් යාවත්කාලීන වන පරිගණක ක්‍රීඩා ලෝකයේ දිනෙන් දින ඉහළ ශක්‍යතාවන් ඉල්ලා සිටිමින් නිර්මාණය වන AAA ගුණාත්මක භාවයේ පරිගණක ක්‍රීඩා හැසිරවීමට මෙම ග්‍රැෆික් ප්රොසෙසරයන්ට හැකියාවක් නොතිබීමයි.
අවසානයේදී සිදුවන්නේ යම් කාලයකට පසුව තම ලැප්ටොප් උපාංගයේ දිගින් දිගටම පැරණි පරිගණක ක්‍රීඩාවන් ස්ථාපනය කොට ඒ හා විනෝදවීමට පරිශීලකයාට සිදුවීමයි.
කෙසේ නමුත් මෙම ගැටලුව සඳහා සම්පූර්ණයෙන්ම නව ගේමින්ග් පරිගණකයක් මිලදී නොගෙන, වඩාත් දැරිය හැකි මිලක විසඳුමකට යෑමට සිතනා පරිගණක පරිශීලකයින් හට Gigabyte සමාගම මගින් හඳුන්වා දෙන Aorus Gaming Box යනු මහත් සහනයක් වනු ඇත.
මෙම හඳුන්වාදෙන Aorus Gaming Box උපාංගය හැඳින්විය හැක්කේ බාහිර ග්‍රැෆික් ප්‍රොසෙසරයක් අඩංගු කේසිනයක් ලෙසට වේ. මෙම උපාංගයෙන් පරිගණක ක්‍රීඩා හැසිරවීමේ ප්‍රබලත්වයක් සහිත ග්‍රැෆික් කාඩ්පත් නොමැති ලැප්ටොප් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයන්, ගේමින්ග් ස්ටේෂන් එකක් බවට පරිවර්තනය කරදෙනු ඇත.
මෙහිදී වර්තමානයේ දක්නට ලැබෙනා ප්‍රබල පරිගණක ක්‍රීඩා හැසිරවීම සඳහා ප්‍රබලත්වයකින් යුක්ත වෙනත් දෘඩාංගයන්ද අවශ්‍ය බවට යමෙකු තර්ක කරනු ඇත. එහෙත් යතාර්ථය වන්නේ මේ වනවිට වෙළෙඳ පොළට නිකුත්වන බොහෝ පුද්ගල ලැප්ටොප් පරිගණක තුළ එම දෘඩාංග ප්‍රබලත්වය තිබෙනා බවයි. එනිසා එහිදී අඩුලුහුඬු වන ග්‍රැෆික් ප්‍රොසෙසර බලය උපාංගය Aorus Gaming Box මගින් ලබාදෙනු ඇත.
මෙම Aorus Gaming Box උපාංගයේ ගිගාබයිට් 8 ක ප්‍රමාණයේ GeForce GTX 1070 ග්‍රැෆික් ප්‍රොසෙසරයක් අඩංගු කර ඇත. මෙයට වර්තමානයේ නිකුත්වන ඉහළ මට්ටමේ පරිගණක ක්‍රීඩාවන් පහසුවෙන්ම හැසිරවීමටත්, අනාගතයේදී දක්නට ලැබෙන්නට නියමිත වඩාත් ප්‍රබල ග්‍රැෆික් බලයන් ඉල්ලා සිටිනා පරිගණක ක්‍රීඩාවන් සඳහා ප්‍රමාණවත් මට්ටමකින් සහාය දීමටත් හැකිවනු ඇත.
එසේම වර්තමානයේ ඇති වඩාත් ප්‍රබල හැකියාවන් ඉල්ලා සිටිනා තත්‍යාසන්න යතාර්ථ (VR) පරිගණක ක්‍රීඩාවන්ද පහසුවෙන් හැසිරවීමට Aorus Gaming Box උපාංගයට හැකියාව ඇත.
පරිශීලකයින් හට මෙය බාහිරින් බලගැන්වීමට සිදුවන අතර, මෙහි ඇති USB Thunderbolt 3 පෝට් එක හරහා එය ඔබේ ලැප්ටොප් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයට සම්බන්ධ කළ හැක. එසේම මෙය වර්තමානයේ ඇති MacBook Pro ඇතුළු බොහෝ ලැප්ටොප්/නෝට්බුක්/අල්ට්‍රාබුක් පරිගණක සමගින් මැනවින් සංගත වනු ඇත.
එසේම ඔබට අවශ්‍ය නම් වීඩියෝ ක්‍රීඩාවන් වඩාත් සුමටව අත්විඳීම සඳහාම නිෂ්පාදනය වූ low-latency gaming display එකක් සමගින් මෙය සම්බන්ධ කිරීම සඳහා මෙහි එක් HDMI පෝට් එකක්, DisplayPort සම්බන්ධතාවක් සහ DVI-D සම්බන්ධක දෙකක් ඇත. එනිසා අවශ්‍ය නම් ඔබට තිරයන් හතරක් එක් වර මෙයට සම්බන්ධ කිරීමටද පිළිවන. එසේම අවශ්‍ය නම් වෙනත් උපාංගයන් සම්බන්ධ කිරීම සඳහා අමතර USB 3.0 පෝට් තුනක්ද මෙහි තිබේ.
මේ සියල්ලටම අමතරව මෙහි high-speed charging slot එකක් ලෙසින් ක්‍රියාත්මක වන තවත් එක් Quick Charge USB පෝට් එකක්ද ඇති අතර, එයින් ඔබේ ස්මාට්ෆෝන් ඇතුළු උපාංගයන් ආරෝපණය කිරීම කළ හැක.
මෙයට අමතරව මෙම කේසිනය තුළ සිසිලන පංකා ඇතුළු සිසිලන පද්ධතියක්ද පිහිටුවා ඇති බැවින්, මෙය ඔබගේ ලැප්ටොප් උපාංගයට සවි කළ ගේමින්ග් හබ් එකක් ලෙසින් භාවිතා කරමින් මෙහි උපරිම බලය ලබාගැනීම කිසිදු ගැටලුවක් නොවේ. එසේම මෙය අඟල් 8.3 x 3.8 x 6.4 ලෙසින් මානයන්ගෙන් යුක්ත වන නිසා පහසුවෙන්ම එහා මෙහා ගෙනයෑමේ හැකියාවෙන්ද යුක්ත වේ.
මෙහි මිලද හොඳ වර්ගයේ ගේමින්ග් පරිගණකයක මිලෙන් අඩකටත් අඩු වන බවද අවසානයට කිව යුතුවේ.