ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව සැකපිට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති පෙත්සම විභාගයට ගන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන ජුලි 07 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (29) දැනුම් දුන්නේය.
මෙම රිට් පෙත්සම් විභාගය අවසානයේ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස දින නියම කෙරිණි.
මෙම රිට් පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඞී.නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන්, චිත්ත රංජන් හුළුගල්ල සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් ගොනු කළ රිට් පෙත්සම් පහක් අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂිස්, සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් ගොනු කළ මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඞී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා නම් කොට ඇත.
මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් විසින් කරුණු ඉදිරිපත් කරන ලද අතර දෙපාර්ශවයේ නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කෙරිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න , නවීන් මාරපන , නීතීඥ මනෝජ් බණ්ඩාර යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.
