ඇතැම් කලාකරුවන් දේශපාලඥයන්ටත් වඩා තක්කඩි ලෙස හැසිරුණා- රාජිත දිසානායක
( නිරෝෂන් ප්‍රේමරත්න ) 2015-01-21 10:22:07
Comments - 3       Views - 31808

මෙරට වේදිකා නාට්‍ය කලාව තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගා ගත් නාට්‍යකරුවකු වන රාජිත දිසානායකයන්ගේ නවතම වේදිකා නාට්‍යය වන 'සිරිවර්ධන පවුල' මංගල දැක්ම මෙම මස 23 හා 24 යන දිනයන්හි සවස 7.00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතව තිබේ. මේ ඒ පිළිබඳව රාජිත දිසානායකයන් සමග කළ සංවාදයකි.

Q 'සිරිවර්ධන පවුල' ගැන මුලින්ම කතා කළොත්?

සිරිවර්ධන පවුලට පාදක වෙන්නේ සාමාන්‍ය පවුලක්. විශේෂයෙන් පවුලක් වෙන්න උත්සාහ දැරීමේදී ඇතිවන තත්ත්වයකුයි. ටෙලිවිෂන් රියලිටි තරගකරුවෙකුගේ පවුලක් වටා තමයි මේ නාට්‍ය ගොඩනැගෙන්නේ. මේ නාට්‍ය හරහා අපි උත්සාහ දරනවා සමකාලීන ශ්‍රී ලාංකික සමාජයක්, පවුලත් විමසා බලන්න. 

මේ නාට්‍යයට දායක වෙන වැඩි දෙනෙක් අලුත් පිරිසක් වීම අධ්‍යක්ෂකවරයෙක් ලෙස මට විශේෂ අත්දැකීමක්. අලුත් කණ්ඩායමක් එක්ක වැඩකරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ නාට්‍යයට පාදක වෙච්ච චරිත බොහොමයක් තරුණයි. මාත් එක්ක තරුණ වියේදී නාට්‍ය කරන්න වූ බොහෝ දෙනා මාත් එක්කම මැදිවියට ඇවිල්ලා. ඒ නිසා අපට අලුත් තරුණ පිරිසක් එක්කරගන්න අවශ්‍ය වුණා. මෙහිදී අප එක්කරගත් තරුණ කණ්ඩායම දීර්ඝ කාලයක් මාත් එක්ක වැඩකරන ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු වැනි අයත් සමග බොහොම හොඳ කැපවීමකින් කටයුතු කරනවා.  

පවුල්වාදය ගැන නිතර ඇහෙන්න ලැබෙන සමයක 'පවුලක්' මූලික කරගත් නාට්‍යයක් කරන්න අදහස් කළේ ඇයි?

පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ අපට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි ටෙලිවිෂන් මූලික කරගත් ජනමාධ්‍ය විසින් මෙහෙයවනු ලබන සමාජයක් බවට අප පත්වෙමින් සිටිනවාය යන්න. එය බරපතළ ලෙස අපට අත්දකින්න ලැබුණා. පරිභෝජනවාදී සමාජයක එය තවදුරටත් පවත්වා ගන්න, ඒ සමාජයේ එකම සතුට පරිභෝජනය බවට පත්කරන්න, මිනිසුන් හිතන විදිහ පාලනය කරන්න, මිනිසුන්ට දේවල් තෝරලා දෙන්න, සරල විනෝදාස්වාදය සමීප කරන්න හා සිතීම සීමා කරන්න මාධ්‍ය විශාල වශයෙන් හේතු වුණා.

ඒ වගේම මිනිස්සුත් පුදුමාකාර ලෙස ඒවාට ආකර්ෂණය වුණා. මිනිස්සුන්ගේ ආකල්ප ගොඩනගන්න මාධ්‍ය ප්‍රබල විදිහට පසුගිය කාලේ භාජනය වුණා. විශේෂයෙන් ජාතිය පිළිබඳව, ආගම පිළිබඳව පටු සීමාවල් ඇතිකරන්න කටයුතු කරන ආකාරයක් දකින්න ලැබුණා. යුද්ධයකින් පස්සෙත් අපේ සමාජය බරපතළ විදිහට එයින් පාඩම් ඉගෙනගත් බව පෙනුණෙ නැහැ. තාමත් අපේ සමාජයේ ජාතිවාදය විශාල ලෙස වපුරන්න පුළුවන් පසුබිමක් පවතිනවාය කියන එක මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිත කළ විදිහ අනුව හා පැවති ආණ්ඩුව මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවපු ආකාරයෙන් පැහැදිලි වෙනවා.

මෙවැනි පටු ආකාරයකට මේ රටේ මාධ්‍ය භාවිත වෙමින් සිදුකෙරෙන ආකර්ෂණය පුද්ගලයාට හා පවුලට බලපාන ආකාරය තමයි මේ නාට්‍යය හරහා විමසා බලන්නෙ. 

Q ලංකාවේ සමාජයේ බොහෝ දෙනා තාමත් ගෝත්‍රික මතවාදවල සිටින බවට විවිධ චෝදනා එල්ලවෙන පසුබිමක මේ නාට්‍යය හරහා කතා කරන දේ ග්‍රහණය කරගන්න හැකියාවක් තිබෙනවාද?

'සිරිවර්ධන පවුල' නාට්‍යයට අප එන්නේ කලින් නාට්‍ය අත්දැකීමුත් එක්කයි. 'ආදර වස්තුව' වැනි ස්වාභාවික තේමාවක් සහිත නාට්‍යයක්, නරඹන පිරිස සීමිතයි කියලා අපි මුලින්ම දැන සිටියා. එවැනි නාට්‍යයකින් අමතන පිරිස සීමිතයි. 

නමුත් 'සිරිවර්ධන පවුල' වැනි නාට්‍යයකින් අපි උත්සාහ දරනවා වැඩි ප්‍රේක්ෂක පිරිසකට අමතන්න. මේ නාට්‍යය අපේ සමාජයේ බොහෝ දෙනෙකුට අදාළයි හා සමීපයි. මොකද ලෝකයේ පවුල කේන්ද්‍ර කරගත් විශිෂ්ට නාට්‍ය රචනා වෙලා තිබෙනවා. ඒවා වසර ගණනක් තිස්සේ නිෂ්පාදනය වෙනවා. උදාහරණයක් ලෙස ආතර් මිලර්ගේ 'ඩෙත් ඔෆ් සේල්ස්මන්' වැනි නාට්‍ය පවුල් වටා ගෙතුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් නාට්‍යයි. 

හැබැයි අපේ සමාජයට වේදිකා නාට්‍ය හරහා මේ අත්දැකීම අත්විඳින්න ලැබුණු අවස්ථා තරමක් අඩුයි. ඒ නිසාම මේ නාට්‍යය වැඩි දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වීමට ඉඩ තිබෙනවා. ඒ හරහා මේ මොහොතේ සමාජය තුළ සිදුවෙමින් පවතින දේවල් ගැන අවබෝධයක් ඇතිකර ගන්න යම් බලපෑමක් ඇතිකරන්න පුළුවන්. 

මොකද සමාජයේ මේ වනවිට ඇහෙනවා පැවති පාලන තන්ත්‍රය පිළිබඳව කිසිදු විචාරයක් නොමැතිව සාධාරණීය කරපු ඇතැම් මාධ්‍ය 'දැන් අපි ඕව ගැන දැනගෙන හිටියෙ නැහැනේ' කියල විවේචනය කරන්න ගන්නවා. ඒ නිසා එදා ඇහුණු සියලු දේ ඇත්ත නෙවෙයි වගේම අද ඇහෙන දේත් සම්පූර්ණම ඇත්තම නෙවෙයි වෙන්න පුළුවන්. එය විචාරය කරන්න අවශ්‍ය අවබෝධය අපේ සමාජයේ වැඩි දෙනෙකුට නැහැ. මාධ්‍ය විසින් පවසන සියල්ල නිවැරදි සත්‍ය ලෙස පිළිගන්නවා. එය මිත්‍යාවක්.

ඒ වගේම මාධ්‍ය විසින් විවිධ න්‍යායපත්‍ර සහිතව තමන් මෙහෙයවන ක්‍රියාවලිය පුරවැසියෙක් ලෙස අප හොඳින් තේරුම්ගත යුතුයි. මේ පිළිබඳව යම් අවබෝධයක් ප්‍රේක්ෂකයන්ගෙන්ම ළඟාකර දීම තමයි 'සිරිවර්ධන පවුල' හරහා සිදුකරන්නේ. 

මේ නාට්‍යයට 'සිරිවර්ධන පවුල කියන නම යොදන්න හිතුවේ ඇයි?

මේ නාට්‍යයට ප්‍රධාන වශයෙන් පාදක වෙන්නේ පවුලක කතන්දරයක්. ඒ පවුලට අපි නම් තැබුවේ සිරිවර්ධන කියලයි. ප්‍රධාන චරිතය වෙන්නෙත් ඒ පවුලයි. ඒ නිසයි මේ නාට්‍යයට ඒ නම යෙදුවේ. ලෝකයේ ප්‍රධාන චරිතවල නමින්ම ඒ නාට්‍යය හඳුන්වන අවස්ථා ගොඩක් තිබෙනවා.

Q රූපවාහිනී මාධ්‍ය හරහා ජනතාව තුළ ඇතිකරන සිහින හඹා යාමේ ආසාව මත දුවන සමාජයක් සහිත රටක බහුතර ජනතාව මේ  තේමාව තමන්ට සමීප කර ගනීවිද?

මම හිතනවා මේ තේමාව අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයාට සමීප වේවි. මොකද මේ පවුල තමන්ට තිබෙන සිහින පසුපස හඹාගෙන යාමට උත්සාහ කිරීමෙන් අත්වෙන ඉරණම ප්‍රේක්ෂකයාට සමීප වනවා. ඒ පිළිබඳව ඔවුන්ට සිතා බැලීමකට මගපාදන්න ඉඩක් ලැබෙනවා.

මොකද මේ නාට්‍යය හරහා බොහොම සාමාන්‍ය ප්‍රේක්ෂකයා අමතන්න අප උත්සාහ කරනවා. සාමාන්‍ය සමාජය තුළ පවතින මාධ්‍ය මගින් සාදා දෙන සිහින හඹා යාමේ ආසාව සහිත සාමාන්‍ය පවුලක් තමයි නාට්‍ය තුළ ඉන්නෙත්. අවසානයේ ඒ පවුලට අත්වන ඉරණම කලින් ප්‍රේක්ෂකයාට නැවත සිතීමකට ඉඩකඩක් ලැබේවි. කලා කෘතියකින් කළ හැකි දේ තමයි රසිකයා තුළ යම්කිසි සිතීමක් හා අවබෝධයක් ඇතිකිරීම. එවැනි වූ ශක්‍යතාවක් කලාවට පවතිනවා යැයි මා විශ්වාස කරනවා.

Q කලාවට තිබෙන ශක්‍යතාව සේම කලාකරුවන්ට සමාජයේ තිබෙන ආකර්ෂණය මේ වනවිට භාවිත වන්නේ විකිණෙන්න හා තමන්ට හරි දේශපාලන බලය ඇතිකර ගැනීමේ ව්‍යාපෘති සඳහා නේද?

කලාකරුවාගේ මූලික භූමිකාව වන්නේ කලා ප්‍රකාශනයක නිරත වීමයි. කලා ප්‍රකාශනය හරහා සමාජයට කළ හැකි මැදිහත්වීම ඉතා ප්‍රබලයි. එතැනින් එහාට මැදිහත් වීම් කරන්න අවශ්‍ය මොහොතක එක්රැස් වීම වරදක් නෙවෙයි. උදාහරණයක් ලෙස පැවති පාලන තන්ත්‍රය වෙනස් කරන්න කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නොකර මැදිහත් වීම ඉතාම ගරු කටයුතු ක්‍රියාවක්. හැබැයි ඡන්ද ඉලක්ක කරගෙන ඒකරාශී වෙලා තමන් කිසියම් වරප්‍රසාද, තනතුරු අපේක්ෂාවෙන් දායකත්වය සැපයීම ඉතාම ප්‍රශ්නකාරීයි.

1994 වනවිට යහපත් සමාජයක් පිළිබඳ අපේක්ෂාවන් බරපතළ විදිහට බොඳ වුණා. මේ නිසා 94 පස්සෙ ඇති වූ ආණ්ඩුව සමග ඊට පෙර ආණ්ඩු සමග ඇතිකර නොගත් සම්බන්ධයක් කලාකරුවන් විසින් ඇතිකරගනු ලැබුවා. එය සිදුකළේ යම් කලාකරුවන් පිරිසක් විවිධ තනතුරු හා වරප්‍රසාද ලබාගනිමිනුයි. මේ හරහා එම කලාකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය නැතිව බැහැ, රජයට කලාකරුවන්ගේ වර්ණනාව හා ප්‍රශස්තිය නැතිව බැහැ වැනි තත්ත්වයක් ඇතිවුණා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. කලාකරුවාගේ භාවිතාව විය යුත්තේ කලා ප්‍රකාශනයයි. එය තමයි ඔහුගේ ශක්‍යතාව. ඔහු දේශපාලඥයන් පසුපස යන්න ගත්තොත් කලාකරුවාට තම භූමිකාව අහිමි වීම තමයි සිදුවන්නේ. මේ නිසා දේශපාලඥයන් පසුපස නොයා කලා ප්‍රකාශනය හරහා සමාජයට මැදිහත් වීම සිදුකරන කලාකරුවන් ටික දෙනෙක් වාසනාවකට තවමත් අපේ රටේ සිටිනවා.

Qකලාකරුවන් ලෙසින් පෙනී සිටින 'වන්දිභට්ටයන්ගේ' වීදි බැසීම මේ දිනවල බහුලව දකින්න ලැබෙන්නක්. තමන් සංවේදී යැයි කියාගන්නා කලාකරුවන්ට සමාජ ප්‍රශ්නයකදී ඒ වෙනුවෙන් පෙනී සිට එය විජයග්‍රහණය කර දී ඉන් එහාට තම කලා ප්‍රකාශන සමග ජීවත් වෙනවා වෙනුවට ඇතමුන් 'වන්දිභට්ටකම්' කරන්නට උත්සුක වෙන්නේ ඇයි?

කලාකරුවන් හරි සංවේදියි, හරි ශුද්ධයි කියල හදාගෙන තියෙන නිර්වචන සම්බන්ධව නම් මට එකඟ වෙන්න බැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදීම හෝ ධීවරයන්ට පහරදීම හෝ නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ට වෙඩි තැබීමට වඩා මහා ප්‍රශ්නයක් විදිහට කලාකරුවන්ට පහරදීම සමහරු අර්ථකථනය කරනවා. එහෙම වෙන්න බැහැ. මර්දනය කාට එරෙහිව සිදුවුණත් එය වැරදියි.  

අපේ රටේ මෑතකාලීනව කලාකරුවන් ලෙස පෙනී සිටින හා කලා ප්‍රකාශනවල නිරත වූ ඇතැමුන් හා ඇතැම් විද්වතුන් පැවති රජයන්ට ආවඩමින් සිදුකළ භූමිකාව ඉතාම කනගාටුදායකයි. ඔවුන් තමන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා කිසිදු විචාරයකින් තොරව ඇතැම්විට දේශපාලඥයන්ටත් වඩා තක්කඩින් ලෙස හැසිරුණා. දැන් ඔවුන් ඒ කිසිවක් සිදුනොවූ අය ලෙස තව සුළු කලකින් හැසිරෙන්න පටන් ගනීවි. ඇත්තටම ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්නකාරීයි හා කනගාටුදායකයි.

මේ රජය පත්කරන්නත් යම් කලාකරුවන් පිරිසක් මැදිහත් වුණා. ඒ කිසිවෙක් තමන් කලාකරුවන් ලෙස පෙනී සිටිමින් ආණ්ඩුවල පවතින කිසිදු අඩුපාඩුවක් නොදකිමින්, විවේචනය නොකරමින් එම ආණ්ඩු රැකගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා නම් එය පාලනතන්ත්‍රය පිරිහීමක් වගේම ඒ කලාකරුවන්ගේත් පිරිහීමක්.
පැවති ආණ්ඩුවේ පිරිහීමට කලාකරුවන් ලෙස පෙනී සිටිමින් ඇතැමුන් කළ භූමිකාව බෙහෙවින් බලපෑවා. හැබැයි ඒ දේවල් ජනතාව පිළිගන්නෙ නැහැ. එය පිළිකුල් කළා. ඒ සමහර අයට ලොකු විරෝධයක් ජනතාවගෙන් එල්ලවෙමින් තිබෙනවා. මේ නිසා තම භූමිකාව හරි විදිහට තේරුම් ගත්තා නම් එය වැදගත්.


Q මෙරට කලා ක්ෂේත්‍රයට පැවති සියලු ආණ්ඩුවලින් ලැබුණේ අවම දායකත්වයක්. මෙවන් පසුබිමක වත්මන් ආණ්ඩුවෙන් අපේක්ෂා කරන්නේ කලා ක්ෂේත්‍රය සම්බන්ධ කවර මැදිහත්වීමක්ද? 

කලාවට අනුග්‍රහය ලැබෙන්න කලින් අලුත් රජයෙන් පුරවැසියෙක් විදිහට අපේක්ෂා කරන කාරණා ටිකක් තියෙනවා. ඒ තමයි නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම, එක පවුලක් වඩා කේන්ද්‍ර වෙමින් එම පවුල හා ඒ පවුලට සම්බන්ධ පිරිස් සියලුම සම්පත් සම්බන්ධව තීන්දු ගනිමින් කළා වූ පාලනතන්ත්‍රයේ අකටයුතුකම් ගැන වග විභාග කරමින් ඒවා යළි සිදු නොවන්නට අවශ්‍ය නිසි දඬුවම් නීතිය මගින් ක්‍රියාත්මක කිරීම, කාලයක් තිස්සේ නොවිසඳෙමින් තිබෙන අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර සම්බන්ධ ගැටලුවලට ප්‍රතිපත්තිමය වශයෙන් නිරවුල් ස්ථාවර විසඳුම් ලබාදෙන ක්‍රියාවලියක් ලබාදීම ආදිය. ඒ වගේම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් හැමෝටම පිළිගත හැකි විසඳුමක් ලබාදීම යන කාරණා ඇති නොවන තාක් කල් දියුණු කලා සංස්කෘතියක් ඇතිකරයි කියලා විශ්වාස කරන්න බැහැ. 

Q බොහෝ නාට්‍ය කොළඹ හා සෙසු පළාත්වල ප්‍රදර්ශනය කළත් උතුරු නැගෙනහිර ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමක් දකින්න ලැබෙන්නෙ නැහැ. ඔබේ නාට්‍යයට එවැනි වැඩපිළිවෙළක් තිබෙනවාද?

ඒ ගැටලුව ගැන අප සොයා බැලිය යුතුයි. කෙසේ වෙතත් 'සිරිවර්ධන පවුල' පිට පළාත්වල ප්‍රදර්ශනය කිරීමට අනුග්‍රහය ලැබීමට නියමිතව තිබෙනවා කෙයා ඉන්ටර්නැෂනල් ආයතනය හරහා. මේ හරහා ඔවුන් ඇතුළු තවත් අනුග්‍රාහකයන් සොයාගනිමින් මේ විදිහේ සිංහල නාට්‍ය රංගගත නොකෙරුණු ප්‍රදේශවල මේ නාට්‍යය පෙන්වන්න උත්සාහයක් ගන්නවා.

077-3502700

 

ඇතැම් කලාකරුවන් දේශපාලඥයන්ටත් වඩා තක්කඩි ලෙස හැසිරුණා- රාජිත දිසානායක සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by Ariyapala Hewage on (2015-01-21 18:18:47)
All the Best Rajitha. No doubt, this stage drama too would be a tremendous contribution to the society as your previous dramas.
Posted by Kasun on (2015-01-21 01:01:38)
දේශපාලකයන් කලාවට මැදිහත් නොවිය යුතුයි.
Posted by Wimukthinee Upeksha on (2015-02-06 03:09:10)
Mr Rajitha, I can agree with your ideas. But massmedias daily gives us nothing but its gives us violens.... how do we chage??????
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :