බඹර කැපිල්ෙල් ඉතිහාසගත කතාව මෙහෙමයි. ආදීවාසීන් කඳපිල්ල නමින් හඳුන්වන්නේ බඹරුන්ටය. ඔවුන් කඳපිල්ල කැපීම සිදුකළේ වනාන්තරයේ ගල්පරවල උඩ සිට පහළට බැස එල්ලී ගල යටට නෙරා තිබෙන තැන්වල බැඳ ඇති බඹර වේවැල්වලින් සාදාගන්නා ලද ඉනිමඟ ආධාරයෙනි. ගල යට තිබෙන බඹරය ඔවුන් හඳුන්වන්නේ %යකිනි බලිය^ වශයෙනි. යකිනි බලිය කපා පැණි ගැනීමට වේවැල් ඉනිමඟේ වේවැල් දිගේ පහළට බසින තරුණයා ඉතාමත් භක්තිවන්ත රැහේ නායකත්වය ඉසිලීමට හැකි අයෙකු වන අතර, එහිදී නායකයා ගල් තලාවේ ඉහළ පිරිසක් සිටින අතර ඉනේ ගැට ගසන වැල්පට්ටය පිරිස අල්ලාගෙන සිටියත්, පහළ බසින තරුණයාගේ මස්සිනා අනිවාර්යයෙන්ම එම පිරිස අතර වැල්පට්ටය අල්ලා සිටිය යුතුය.
පහළ බසින තරුණයා මුව හම්වලින් සාදා ඇති කූඩයක් රැගෙන වේවැල්වලින් සාදාගන්නාලද %මස්ලිය^ නමින් හඳුන්වන උපකරණයක් රැගෙන පහළට බසින්නේ අමු කොළ ගස්වල අතුවලින් සදාගන්නා ලද ගුලියක් %නැල^ ක් රැගෙන ගිනි තබා දුම් දමමින් වේවැල් ඉනිමඟේ එල්ලීගෙනය.
ගල මත සිටින අය ගිනිගොඩක් ගසන අතර, ගල පාමුල සිටින අයද ගිනිගොඩක් ගසා දුම් ගසති. ශක්තිමත් තරුණයා ඉනිමඟේ එල්ලී කකුල් දෙක ඉනිමඟේ පටලවාගෙන බෙල්ලෙන් ඉනිමඟේද පටලවාගෙන අත්දෙක නිදහස් කරගෙන දුම් ගසමින් ආයාසයෙන් පැද්දී පැද්දී %මස්ලියෙන්^ බඹරය කපා මුවහම් කූඩයට බහාලූ පසු පහළට එවයි.
වැදි නායකයා හෝ ශක්තිවන්ත තරුණයා හෝ බඹරය කපා ඉවර වූ පසු පහළට ඇදගැනීම කරන අතර, පහළ සිටින අයත්, ඉහළ සිටින අයත් එකතු වී බඹර කැපූ අයගේ ශරීරයේ ඇති බඹරුන්ගේ 'විත' ගැලවීම සිදුකරයි. තරුණයා දාඩියෙන් හා බඹර පැණිවලින් නැහැවී සිටින අතර, බිම පෙරළී ශරීරය පුරා වැලි තවරා ගනී. එසේ සිදුකරනු ලබන්නේ වනාන්තරයේ සිටින විස සහිත කුහුඹුවන්ගෙන් ආරක්ෂා වීම සඳහාය. පසුව ඔහුට නිදාගැනීමට ඉඩ සලස්වා සෙසු අය නිහඬව ඒ අසල රැඳී සිටිති.
ෙම් අදට ගැළපෙන අයුරින් බඹර කපන අපේ යුවතියන් දෙදෙනෙකුගේ වික්‍රමය පිළිබඳවයි.මේ වන විට ලංකාව පුරා විහිදී සිටින බඹරුන් මිනිසාට අවහිරයක් වන ස්ථානවලින් නොමරා ඉවත් කිරීමට ඔගස්ටා වත්ත බිඟු සම්පත සුරැකීමේ සංවිධානය කටයුතු කරයි. එහි පුහුණුව සහ අත්දැකීම් ලත් තාක්ෂණ ශිල්පීන්ගේ ඇප කැපවීමෙන් කටයුතු සිදුකරන අතර, ඔවුන් මීමැසි ජනපද ව්‍යාප්තිය පිළිබඳ වැඩමුළු පවත්වමින් රට තුළ මීමැසි ජනපද වර්ධනය කිරීමට වෙහෙසක් දරයි.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන තාක්ෂණ ශිල්පී මහින්ද විජේසිංහ, නුවන් කීර්තිරත්න, සුරංග සම්පත් , ඉන්දික ජයරත්න, නුවන් සඳරුවන් ජයවීර, චමින්ද කුමාර හෙම්මාතගම, මේඝා සමාධි විජේසිංහ, එස්. සමාධි සසනිකා ජයරත්න, ලේකම් බණ්ඩාර තඹවිට එහි කටයුතු කරයි. මේ අතර බඹරුන්ට බය නැති එඩිතර කාන්තා සාමාජිකාවන් දෙදෙනෙකුගෙන් සමන්විත බඹර මෙහෙයුම් බළඇණියක්ද වේ. මෙම යුවතියන් දෙදෙනා තවමත් අධ්‍යාපනය හදාරන සිසුවියන් වුවත් බඹරුන් ඉදිරියට යන්නේ සෙන්පතියන් ලෙසනි.
ගස් ගල් නැග වික්ටෝරියා බැම්මේ වාන් දොරටුවේද බඹර කැපූ මේඝා සමාධි විජේසිංහ මීමැස්සන් සහ බඹරුන් සමග කටයුතු කරන ආකාරය පිළිබඳ කියන්නේ කුඩා කල සිට බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ මීමැසි පුහුණු වැඩසටහන් වලට සහභාගි වීමෙන් ලත් අත්දැකීම මෙයට ඉවහල් වූ බවයි. තමා කුඩා කාලයේම පරිසරයට හිතවත්ව කටයුතු කිරීම තුළින්ම මෙසේ එම සංවිධානය සමග කටයුතු කිරීමට අවස්ථාව උදා වූ බව පැවසුවාය. ඇයට අවුරුදු 10දී පමණ මහින්ද විජේසිංහ මහතා විසින් මීමැසි ජනපදයක් මූණේ රැඳ වූ බවත්, එම අවස්ථාවේදී මී මැස්සෙක් කනට රිංගූ විට සංයමයෙන් ඉවසා සිටි බැවින් මී මැස්සා කනෙන් එළියට පියඹා ගිය බව ඇය පැවසීය. එම කුඩා සතාට කරදයක් නොකර සිටි බැවින් සතාගෙන් තමාටද කරදයක් නොවූ බව පැවසූ ඇය එයින් ලත් පුහුණුව බඹර කැපීම දක්වා විහිදී ගිය බව පැවසීය.
මීමැසි ජනපද පුහුණු වැඩසටහන් තුළින් ජනපද රජ මැස්සී හඳුනාගත් අතර, රජ මැස්සිට කරදරයක් නොකර අතට ගත් පසු මීමැසි ජනපදයම රජ මැස්සිය වටා රොක්වෙන බව ඇය පවසයි. නව මීමැසි ජනපදයක් බිහිවීමේදී රජ මැස්සියක් බිහිකිරීමට මීමැසි ජනපදයේ කෝෂ තුළට රාජ ජල්ලි මීමැස්සන් විසින් යොමුකර එයට බිත්තර දැමීමෙන් පසු රජ මැස්සියක් බිහිවෙන බව පවසයි. රජ මැස්සිය වටා නව මීමැසි ජනපදයක් බිහි වී ඔවුන් වෙනත් වාසස්ථානයක් කරා පියාඹා යයි. එය ඔවුන්ගේ ජීවන චක්රයයි. එලෙස මීමැසි ජනපද වැඩිදියුණු කරගත හැකි බව ඇය කියයි. රාජ ජල්ලි ඉතාමත් වටිනා ඖෂධයක් බව සංවිධානය මගින් පැහැදිලි කර දී ඇති බවත්, මීමැසි ජනපද තුළින් රාජ ජල්ලි නිපදවෙන බව පවසයි. එසේම මීමැසි ජනපදයක් තුළ මිලිග්රෑමයකින් දශමයක් පමණ සුළු ප්‍රමාණයක් එය ඇති අතර, එය අනුභවයෙන් මිනිසා තරුණ බවට පත්වේ යැයි මතයක් වේ යැයි පැවසීය. එමෙන්ම දීර්ඝායුෂ ලැබී නිරෝගිමත් මිනිසෙකු ලෙස ජීවත් වීමට හැකි බවද ඇය කියයි.
&අපට පරිසරයෙන් ලැබෙන අාහාර, ධාන්‍ය, පලතුරු හටගැනීමේ පුෂ්ප පරාගනය මීමැසි, බඹර, කනමේයියා, දඬුවෙල්ලාවන්ගෙන් සිදුවෙනවා. ඉතිං එවන් ඖෂධයක් ඇති පරිසර දයාද විනාශ කර දැමීම අප කළයුතුද? ඒක අප විසින්ම අප විනාශ කර ගන්නවා වගේ වැඩක්.*
ඇය පරිසරයට බෙහෙවින් ආදරය කරන බවත්, සමාජයට කළයුතු දේ උපරිම ලෙස ඉටු කිරීමට එඩිතරව ඉදිරිපත් වන බවත් පැවසුවාය. මේඝා සමාධි මහනුවර සරසවි උයන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් උසස් පෙළට සහභාගි වී මේ වන විට උසස් පෙළ සමත්ව මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරයි.
'මම මීට වසර තුකට පමණ පෙර පළමු බඹරය කපන්නට ඉරිපත් වූයේ හන්තාන කැලේ අසල නිවසක. ඒ අවස්ථාවේ නම් ටිකක් බය හිතුණා. නමුත් එඩිතරව ඉදිරිපත් වී එම බඹරය කැපුවා. මී මැස්සන් සහ බඹරුන් අතර වෙනසක් නැහැ කියල තේරුම් ගත්තාම බිය තුරන් වුණා. හන්තාන කැලේ අසල නිවසක කාන්තාවකට බඹරුන් දෂ්ට කර කරදයක් කියලා සංවිධානයට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ තමයි අපි එය ඉවත් කරන්න ගියේ. ඒක විශාල බඹරයක්. සෑහෙන්න පැණි තොගයක් තිබුණා. ඒ බඹරය කැපීමෙන් පස්සෙ ගොඩක් බඹර කැපුවා. බෝවලවත්ත ටිකිරි ළමා නිවාසය ඉදිරිපිට ගසේ බැඳ තිබූ අඩි හයක් පමණ වූ විශාල බඹරය එම ළමා නිවාසයේ දරුවන්ට තර්ජනයක්ව තිබුණා. එයද කපා ඉවත් කිරීමට කටයුතු කළා. එයින් මා පුදුම ආත්ම තෘප්තියක් ලැබුවා. වික්ටෝරියා වේල්ල ඉදිකර වසර තිහක් ගිය පසු එහි වාන් දොරටු අට පිළිසකර කිරීමට නොහැකිව සියලුම දොරටුවල බඹර වද බැඳ තිබුණා. අප සංවිධානයට එය ඉවත් කර දෙන ලෙස දැනුම්දී තිබුණා. ඒ බඹර කැපීමට නොබියව ඉදිරිපත් වුණේ මමයි.
ඒ වගේම මේ වසරේ ජනවාරි 30 දින වසර දෙකකට පසු නැවතත් වික්ටෝරියා වේල්ලේ බඹර කපා ඉවත් කිරීමට මා කටයුතු කළා. අඩි පන්සිය විස්සක් උස මීටර් එකසිය දොළහක් වූ එම වේල්ලේ දොඹකරය අධාරයෙන් පහළට බැස එම කටයුත්ත සිදුකළා. මාත් සමග සමාධි සසනිකා ජයරත්න සමාජිකාවද එයට එකතු වුණා'
මහනුවර මහානාම විද්‍යාලයේ වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින සමාධි සසනිකා ජයරත්න ඒ පිළිබඳ මෙසේ පැවසුවාය.
'මා කුඩා කාලයේ පටන් මී මැස්සන් ඇල්ලීම සඳහා යනවා. අප සංවිධානයේ පුහුණුව ලබාගෙන කටයුතු කිරීම තුළින් ලත් අත්දැකීම මතයි මෙය සිදුකරන්නේ. මී මැස්සන්ගෙන් පටන් ගෙන අද බඹරුන් ඇල්ලීම දක්වා යනවා. ඉස්සෙල්ලාම බඹරයක් කැපුවේ සාමාන්‍ය පෙළ විභාගය කරන විටයි. ඉන් පස්සේ පසුගිය වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ බඹරය කැපුවා. එදා ඒ බඹරය කපන්න පාලමේ පලංචිවල එල්ලී කටයුතු කළා. පසුව මෙවර වික්ටෝරියා වේල්ලේ බැඳ තිබූ බඹර ඉවත් කිරීමට මා ඉදිරිපත් වුණා.
මී මැස්සා, බඹරා දැන් අපිට අපේ යාළුවො වගේ. මේ බඹරුන්, මී මැස්සන් හා දෙඹරා යන අය නිසා පරිසරය සුන්දර වෙනවා. ගස්වල ඵලදාව එනවා. ඒ නිසා අපි මේ කුඩා සතුන් මරන්න හොඳ නැහැ. පියඹා යන විට ඇහැට නොපෙනුණත් ඔවුන් එකතු වූ විට විශාල ශක්තියක් නිසා මිනිසා ඔවුන් විනාශ කිරීමට පෙළඹෙනවා. නමුත් ඔවුන්ගේ අගය වටිනාකම මිල කළ නොහැකියි. මම බිඟු සම්පත සුරැකීමේ සංවිධානයට එකතුවීමෙන් පරිසරය ආරක්ෂා කිරීමට දායක වන බඹරුන්, දෙඹරුන්, මීමැස්සන් ආරක්ෂා කිරීමට පුළුවන් වුණා. මෙම කර්තව්‍යයේ විනෝදාංශයක් විදිහට මා නිරත වී සිටිනවා. මගේ බලාපොරොත්තුව අධ්‍යාපනය හොඳින් හදාරා කළමනාකරණයෙන් ඉදිරියට යෑමයි. වික්ටෝරියා වේල්ලේ බඹර කැපීම මගේ ජීවිතයේ මම ලබපු ලොකු අත්දැකීමක්. බඹරත්, දෙඹරත්, මී මැස්සත් නොමරා අපිටත් හානියක් නැතිව ඔවුන් ආරක්ෂා කර ගැනීමට අපත් සමග එකතු වන්න කියා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඕනෑම ස්ථානයක සිටින බඹරුන් ඉවත් කිරීමේ හැකියාව අපට තිබෙනවා.'
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර