ලොව ප්‍රථම වරට පැවැත්වෙන Miss Pancontinantal තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන රූමතිය බවට පත්වීමට ජනප්‍රිය නිළි කිශානි අලංකි සමත්වී තිබේ. එළැඹෙන සතියේ මේ සඳහා සහභාගී වීමට පිලිපීනය බලා පිටත්වීමට සූදානම් වන ඇය අප සමග මෙලෙස තරගය පිළිබඳ තතු සඳහන් කර සිටියාය.
“මේ තරගාවලිය ලෝකයේ පළමු වරටයි පැවැත්වෙන්නේ. එහි ශ්‍රී ලාංකේය අධ්යක්ෂවරයා වන ප්‍රසන්න පද්මනාදන් මහතා මට ආරාධනා කළා මෙම තරගයට සහභාගී වෙන්න කියලා. ඉතින් මේ තරගය රූමත් බව වගේම අධ්‍යාපන හා බුද්ධිමත්භාවය මැන බලන තරගයක් නිසා මගේ රට වෙනුවෙන් යමක් කරන්න මට පුළුවන් කියලා හිතුණා.
මීට පෙරත් මට රූපරාජිණී තරගවලට ඇරයුම් ලැබුණත් මගේ අධ්‍යාපන කටයුතු නිසා මම වැඩි කැමැත්තක් මෙවැනි තරගවලට නොතිබුණු නිසාත් එම ආරාධනා ප්‍රතික්ෂේප කළා. මගේ නීති උපාධියේ කටයුතු නිසා මම රංගන කටයුතුවලින් වසර තුනක් පමණ ඈත් වෙලයි හිටියේ. ඉතින් දැන් මම උපාධිය හදාරලා ඉවර නිසා මෙම තරගයට ඉදිරිපත් වීමට කැමැත්ත ලබා දුන්නා"
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන රූමත් තරුණිය තෝරාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැතුණත් ඒ සඳහා ගැළපෙන තරුණිය නොලැබුණු බැවින් මේ සඳහා ඇයට ආරාධනා ලැබූ බව සඳහන් කරන කිශානි තරගය සඳහා වන සූදානම පිළිබඳවද හඬ අවදි කළාය.
“මාගේ ඇඳුම් පැලඳුම් නිර්මාණ කටයුතු සේ දිනවල සිදුකරනවා. ඊට අමතරව මම මෝස්තර නිරූපණ කටයුතුවල යෙදිලා සිටියේ නැති නිසා ඇවිදින ආකාරය පිළිබඳ පුහුණුවීම් කරනවා. ඒ වගේම ජාතික ඇඳුම් විලාසිතා අනු අංශය සඳහා මම ඉදිරිපත් කරන ඇඳුම් විලාසිතාව සූදානම් කරන කටයුතුත් මේ දිනවල සිදුකරනවා.
තරගය සඳහා මාව තෝරාගන්න එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම තරගය තුළ අපේ රට ගැන, සංස්කෘතිය ගැන ගොඩක් දේවල් කතාකරන්න මම බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් 19 වැනිදා පිලිපීනයේ පැවැත්වෙන තරගය සඳහා රටවල් 40 පමණ රූප රාජිනියන් සහභාගී වීමට නියමිතයි. ඉතින් හොඳ තරගයකින් අනතුරුව අපේ රටට ගෞරවයක් ගෙන ඒමට මම උත්සාහ කරනවා"