පුතුගේ විවාහයට දිවයිනට පැමිණි අලකේෂ්වර රජ පරපුරේ චීන කුමාරිකාව
වසර 60ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ශක්තිමත් කරමින් චීන ජාතික තරුණ යුවළ 50කගේ රාජකීය මංගල්‍ය විවාහ ගිවිස ගැනීම පසුගියදා හෙළ කුල සිරිතට අනුව සිදුවිය. කොළඹ මහ නගර සභා භූමියේදී පැවැත් වූ මෙම මංගල්‍ය සැබෑම රාජකීය විවාහ මංගල්‍යක් වූයේ ලාංකේය රාජ පරම්පරාවේ ලේ ඥාතීත්වයක් උරුම වූ රාජ කුමාරිකාවකගේ සම්ප්රාප්තියත් සමගය. චීන ආභාසයක්ද තිබුණද සිය පුතුගේ විවාහය ශ්‍රී ලාංකේය සම්ප්‍රදායට අනුව සිදුකිරීමට ඇය සිතුවාය.ශ්‍රී ලංකාවේ සිටි අලකේෂ්වර රාජ පරම්පරාවෙන් පැවත එන ඇය නමින් ෂු ෂිං යුන් ඊ නම් විය. ඇයගේ පුතු වන සුන් හයි හුඅයි (sun hai huai) සහ ඇයගේ ලේලිය වන ලින් කුආන් (lin qian) යුවළ එහිදී පාරම්පරිකව හෙළ කුල සිරිතට අනුව පෝරු මස්තකයේ අෂ්ටක ගායනා මැද අතිනත ගත් අතර, මුදු පැලඳ, අතපැන් වත්කොට හෙළ සිරිතට අනුව එය සිදුකිරීම කාගෙත් අවධානය දිනාගත් සිදුවීමක් විය.
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගෙන මෙය පැවැත්වූවත් සිය ලේ ඥාතීන් හමු වූ චීන සම්භවයක් සහිත රාජ කුමාරිකාවට නම් මෙහි සතුට කියා නිමකළ නොහැකි විය. ඒ නිසා අප සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇය කැමැත්ත ප්‍රකාශ කළේ සිතේ උතුරා ගිය ප්‍රීතියෙනි. වොටර් එජ්හි පැවැති රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඇය අප සමග මෙලෙස අදහස් දැක්වූවාය.
Q අලකේෂ්වර රජුගේ කීවෙනි පරම්පරාවද ඔබ නියෝජනය කරන්නේ?
අපි නියෝජනය කරන්නේ 19වැනි පරම්පරාව.
Q කොහොමද මේ ඉතිහාසය ඔබ දන්නේ?
අපේ අම්මලා තාත්තලාගෙන් අපි අහලා තියෙනවා. අවුරුදු හයසියයක ඉතිහාසය පරම්පරාවෙන් පරම්පරාවට අපිට ලැබුණා වගේම අපේ ඉතිහාසය ලිඛිතවත් අපි ළඟ තියෙනවා. මම ඒ පෞරාණික බඩු තැන්පත් වෙළෙඳ සැලක්ද පවත්වාගෙන යනවා. එය ලයිසිං දිස්ත්‍රික්කයේ ක්වංෂොහි තමයි තිබෙන්නේ.
Q ඒ අවුරුදු හයසියය තුළ අලකේෂ්වර රාජ වංශය චීනයේ මොනවද කළේ?
මුල් පරම්පරාව චීනයට ගියාට පස්සේ එයාලට ලංකාවට නැවත එන්න ලැබුණේ නෑ. එයාලා චීනයේ නැවතුණා. ඔවුන් බොහෝ පිරිසක් භාෂා පරිවර්තකයන් විදිහට තමයි වැඩ කළේ. ඔවුන් වෙනත් භාෂාවන් චීන භාෂාවට පරිවර්තනය කළා. කෝපොන්සෝ කියලා තනතුරක් තිබුණා. ඒ තමයි සමාන්‍යයෙන් අපි හඳුන්වන පරිවර්තක කියන තනතුර. අපේ මුල් කාලයේ පිරිස කොපොන්සෝවරු. මෙහෙම ටික කාලයක් යන විට ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවක් උදා වුණා. ඒ නිසා බොහෝ දෙනෙක් ගුරුවරු විදිහට හිටියා. නමුත් දැන් බොහෝ කල්ගත වෙලා තියෙන්නේ. දැන් නම් අපේ අය විවිධ ක්ෂේත්‍රයන්වල නිරතවෙලා ඉන්නවා.
Q මේ අවුරුදු හයසියය තුළ මේ ලාංකික පවුලට චීන ජාතිකයන් කොහොමද සැලකුවේ?
අපේ කට්ටිය හිටියේ ටිරන්සෝ නගරයේ. ටිරන්සෝ කියන්නේ වරාය නගරයක්. අවුරුදු පන්සියයකට කලින් ලෝකයේ ලොකුම වරායන්වලින් තුන්වන වරාය තමයි ඒ. ඒ නිසා තමයි අප එම ස්ථානය පදිංචිය සඳහා තෝරා ගත්තේ. ඒ වරායට හැම රටකින්ම වගේ නැව් එනවා යනවා. එතන විවිධ අය ඉන්නවා. ඒ නිසා කිසිම අපහසුතාවක් වුණේ නෑ. කිසිම බාධාවක් ඇති වුණෙත් නෑ. අපට ජීවත්වෙන්න පහසු වුණා.
Q මොනවද මේ රාජ පරම්පරාව තුළ ශේෂ වෙලා තිබෙන ලාංකේය සංස්කෘතික අංග හෝ සම්ප්‍රදායන්?
ඒකට පිළිතුරක් දෙන්න නම් අමාරුයි. අවුරුදු පන් හයසියයක් ගතවුණාට පස්සේ අපි තුළ තිබෙන ලාංකේය සිරිත් විරිත් චර්යාවන් මොනවද කියලා හිතාගන්න අමාරුයි.
Q ඔබ අදහන ආගම මොකද්ද? භාෂාව මොකද්ද? මොනවද සමරන අවුරුදු?
අපි අදහන්නේ බුදුදහම. අපිත් සමරන්නේ චීන ජනතාව සමරන චීන උත්සව. කතා කරන්නෙත් චීන භාෂාව. අපි අවුරුදු ගණනාවක් චීනයේ සිටි නිසා අපේ උරුමය තිබුණත් අපි චීනයේ සංස්කෘතියට අනුව තමයි හැඩගැහිලා ඉන්නේ.
Q එහෙම නම් ඇයි ඔබේ පුත්‍රයාගේ විවාහය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කළේ?
අපිට ඕන වුණා අපේ ඥාති සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යන්න. ඒ නිසා අපි හිතුවා අපේ පුතාගේ විවාහයත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික චාරිත්‍රවලින් සිදු කරන්න.
එම සාදය අතරතුර චීන නර්තන, සංගීතය සහ අපූරු නිර්මාණ රැසක් ද වේදිකාගත කෙරුණි. එමෙන්ම එහිදී විවිධ වර්ගයේ
ශ්‍රී ලංකා, චීන ආහාර පානයන්ගෙන් යුත් රාත්‍රී භෝජනයක්ද පිළියෙල කර තිබුණි. මෙම රාජකීය විවාහ මංගල්‍ය සමාප්ත කරමින් ඒ මනාල මනාලිය සියදෙනා එදින රාත්‍රියේම බස් රථවලින් පිටව ගියහ. අනුරාධපුර, හම්බන්තොට, නුවරඑළිය වැනි ප්‍රදේශවල හෝටල්වල මධුසමය ගතකරන ඔවුන් නැවත හෙට(22දා) කොළඹට පැමිණීමට නියමිත අතර, එදින පැවැත්වෙන විශේෂ උත්සවයකින් පසු ඔවුන් නැවත චීනය බලා ගුවනින් පිටත් වීමට නියමිතය.
චීන රාජ කුමාරිකාවගේ පරම්පරාවේ සම්භවය මෙලෙස ආරම්භ විය
වෙරළ ආසන්නයෙහි සිට ඈත ක්ෂිතිජය දක්වා මුහුදු තලය වසා දැවැන්ත නැව් සිය ගණනක් නැංගුරම්ලා තිබිණි. නැව් බඳෙහි මකර රූප ඇඳ තිබූ විවිධ වර්ණයෙන් යුත් නැව්වල අලංකාර ධජ පතාක දහස් ගණනක් ළෙලදෙමින් පැවතිණි. බේරුවල වරායට දිස් වූ මේ දර්ශනය දුටුවෝ චීන සේනාවක් පැමිණ ඇති බව එවකට රයිගම රජු වූ අලකේෂ්වරට දැන්වූයේය. මේ මිං රජ පෙළපතේ ඉයුලෝ චීන අධිරාජ්‍ය සමයයි. ඉන්දීය වෙළෙඳ ආධිපත්‍ය නතු කරගැනීමට කැලිකට් බලා යමින් සිටි ෂෙන් හේ නමැති චීන සෙන්පතිවරයා පුදපඬුරු සහ පූජා භාණ්ඩ රැගෙන මෙරටට පැමිණියේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වැඳපුදා ගැනීමටයි. එහෙත් අලකේෂ්වර රජු රාජ ආඥාවක් පනවා, ඒ චීන සෙන්පතියාව අල්ලා ගැනීමට නියෝග කළේය. එහිදී චීන සෙන්පතියා අලකේෂ්වර රජු සමග යුද්ධ කිරීමට සිතුවද, කැලිකට් බලා යන අතරතුර වෙනත් යුද්ධයකට පැටලී දුර්වල වීම හේතුවෙන් අපේක්ෂිත ඉලක්කය සපුරාගත නොහැකි බව වැටහී පලාගියේය.
තෙවසරකට පසු කැලිකට් ගමන අවසන් කොට පැමිණෙන ෂෙන් හේ නොසිතූ මොහොතක 3000ක චීන හමුදාවක් සමග පැමිණ ශ්‍රී ලංකාවට ආක්‍රමණයක් එල්ල කළේය. මෙය විශාල යුද්ධයක් බවට පත්වුවද අවසානයේ අලකේෂ්වර රජු චීන හමුදාවට හසු විය. ෂෙන් හේ අලකේෂ්වර රජු චීනයට රැගෙන ගියේය. චීනයට ගිය සෙන්පතියා චීන රජතුමාට අලකේෂ්වර රජු ඉදිරිපත් කළේය. චීන රජු සහ අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ අලකේෂ්වර රජු වැරදිකරුවෙක් විය. බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට යහපත් සිතින්, පැමිණි සෙන්පතිට කරදර හිරිහැර කළත් චීන අධිරාජ්‍යයා අලකේෂ්වර රජුට අනුකම්පා කළේය. එනිසා මරණීය දණ්ඩනය නොපමුණුවා ශ්‍රී ලංකාවේ රජකමෙන් පහ කළේය. අනතුරුව අලකේෂ්වර රජුට චීනයේ ජීවත් වීමට සිදුවිය. මේ ආකාරයට පරම්පරා ගණනාවක් පසුකරමින් අදටත් එම රාජ පරම්පරාව පැවතීම සුවිශේෂී දෙයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


