අතීතයේදී කතරගමට පැමිණි බැතිමතුන් සිය ගම්බිම් වෙත පිය නගන විටදී සිය දුවා දරුවන් වෙත රැගෙන ගියේ කතරගම මාල වර්ගයි. නැතිනම් කතරගම රස කළු දොදොල්ය. අද වනවිට මේ සෑම දෙයක්ම කණපිට පෙරළී තිබේ.
එදා කතරගම ප්රදේශයේ කාන්තාවන් අතින් නිම වූ මුතු පබලු සහිත කතරගම මාල පසෙකලා චීනයෙන්, ඉන්දියාවෙන්, හොංකොං රටින් රැගෙන ආ ප්ලාස්ටික් වලින් නිම වූ මාල වළලුවලට ප්රමුඛස්ථානයක් ලැබෙන තත්ත්වයක් ඇතිවී තිබේ. කතරගම ගමේ නිර්මාණය වූ මාල වළලු යටපත් කර අපේ රටේ මුදල් පිට රට යවන තැනට වර්තමානයේ කතරගම වෙළෙඳ පොළවල් පත්ව ඇත.
එදා පිරිතට. යන්ත්ර මන්ත්ර ජීවම් කිරීම සඳහා 108ක් මැතිරවීමට ගණනයන් භාවිත කිරීම සඳහා භාවිත කළේ කතරගම නව ගුණ මාලයි. අදද බොහෝ දෙනා 108 ඇට සහිත නව ගුණ මාල භාවිත කරනු ලබන අතර, භාවනා යෝගිව සිටින ඇත්තෝ සිය භාවනාව ගණනයන් කිරීමටද කතරගම නව ගුණ මාල භාවිත කරති.
මෙයට අමතරව තපස් රකින ඇත්තන්ද නව ගුණයෙන් පිරි මෙම මාල පැලඳවීමට ක්රියා කරන අතර, කතරගම වන්දනාවේ පැමිණ යන සැදැහැවතුන් කතරගමින් මෙම මාලයක් රැගෙන ගොස් සිය බුදු පිළිම අසල තැන්පත් කරන අතර, ඇතැම් පිරිස් සිය රථයේ ඉදිරියේ එල්ලා ආශීර්වාදය ප්රාර්ථනා කරති.
දිර්ඝ ඉතිහාසයක් ඇති මෙම නව ගුණ මාල වැඩි හරියක්ම නිර්මාණය වූයේ කතරගම ප්රදේශයෙන්ම පමණක් වූ අතර, වර්තමානයේ මෙම මාලයට සමානව චීනයෙන් ඉන්දියාවෙන් ප්ලාස්ටික්වලින් නිපැයූ මාල වෙළෙඳ පොළට පැමිණිමත් සමග අපේ රටේ කතරගම ප්රදේශයේ කාන්තාවන්ගේ සුරතින් නිපැයූ නව ගුණ මාලයට අපළ කාලයක් උදාවී ඇත.
මෙයට මූලික හේතුව වන්නේ චීනයෙන් රැගෙන එන මාල අඩු මුදලකට අලෙවි වීම හේතුවෙන් ඇතැම් නොදන්නා පිරිස් ප්ලාස්ටික්වලින් නිපයූ මාල රැගෙන යෑමයි.
ස්වභාවිකව කතරගම ප්රදේශයේ හට ගන්නා දෙබර ගසේ ඇට බිමට වැටෙන විටදී අහුලා ගන්නා කතරගම කාන්තාවන් එම ඇට අව්වේ වියළා, පසුව සෝදා පිරිසුදු කර, ඒවා විද මෙම මාල නිර්මාණය කර කතරගම මාල වෙළෙඳ සැල් වෙත අලෙවි කරයි.
මෙම මාල වැඩි වශයෙන් නිර්මාණය කරන කාන්තාවන් පිරිසක් ජීවත් වන්නේ කතරගම නාගහවීදිය හා ගෝතමීගම යන ගම්මාන තුළය.
ඔවහු කිහිපදෙනෙක් මේ පිළිබඳ මෙසේ අප හා අදහස් දැක්වූහ.
එච්. ඒ. සිරියාවතී මහත්මිය,
''අපි ඉස්සර මේ මාල ගෙතුවේ බුරුමයකින් දෙබර ඇට විදලා. දැන් නම් විදුලියෙන් විදින මැෂිමකින් තමයි ඇට විදින්නේ අපි මේ මාල වර්ග කිහිපයකින් ගොතනවා. තඹ කම්බිවලින් ගොතලා මුතු ඇටත් එක්ක ලස්සන කරන මාලයක් තියෙනවා ඒකට වැඩි මුදලක් වැය වෙනවා. තව මාලයක් තියෙනවා කම්බිවලින් ගොතනවා. ඒ මාලයක් කඩේ විකුණනන්නේ රුපියල් 100කට. අපිට දෙන්නේ එක් මාලයකට රුපියල් 30ක් තමයි. මේ මාල ඉස්සර නම් ගොඩක් අලෙවි වුණා. දැන්
පිට රටින් එන විවිධ මාල වර්ග වැහි වැහැලා. ඒක නිසා මේ මාලවලට වැඩි වෙළෙඳ පොළක් අද නැහැ.''
එස් අයේෂා මහත්මිය,
''අපේ ප්රධාන ජීවිකාව තමයි මේ මාල ගෙතීම. කිරි වෙහෙර අවට දෙබර ගස් තිබෙනවා. ඇට ඇහිදගෙන ඇවිල්ලා, වංගෙඩියේ දමලා කොටලා, ඇට සෝදලා අරන් තමයි ඇට සකස් කරන්නේ. ඉස්සර අපි ඇට විද්දේ බුරුමෙන් දැන් විදින මැෂින් තියෙනවා. මැෂින් එකක් රුපියල් 25000ක් වෙනවා දැන් ඇට විදින්න ලෙහෙසියි.
අපි දැන් මාල ගොතලා තියාගෙන ඇසළ පෙරහර කාලේට විකුණනවා. කතරගම එන අය මේ මාලවලට හරිම ආසා නිසා අරන් යනවා. මේ මාලවලට සමානව ප්ලාස්ටික් මාලත් තිබෙනවා. ඒවා පිටරට ඒවා සමහරක් අය දන්නේ නැතිව ඒවාත් මිලදී ගන්නවා.
මෙම මාල ගොතන පවුල් 100ක් විතර කතරගම ඉන්නවා. අපි ස්වංරැකියාවක් විදිහට මේ නව ගුණ මාල ගෙතීම සිදුකරනවා අපිට මේවා දියුණු කරගෙන යන්න බැංකු ණයක් වගේ සහනයක් දෙනවා නම් මේ කර්මාන්තය තවත් දියුණු කරන්න පුළුවන්.''
කතරගම ජීවත් වෙන පවුල් අතරින් සියයට හැත්තෑ පහක පමණ කාන්තාවෝ පිරිසක් මල් මාලා ගෙතීමත්, ඇටමාල ගෙතීමත් සිදුකරන අතර, අතීතයේ කතරගම මාලවලට මුල් තැන ලැබුණත් විවෘත ආර්ථිකය අපේ රටට පැමිණීමත් සමග අපේ රටේ නිපැයුම්වලට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබුණු බවත්, පන්පැදුර වේවැල් පැදුර වෙනුවට ඉටි කොළ පැදුර අලෙවි වන පරිදි කතරගම මාලවලටද අපළ කාලයක් උදාවී ඇති බවත් ඔවුහු පවසති.
නමුත් අදද මේ නව ගුණ මාල තේරා ගැනීමේදී කතරගම ප්රදේශයේ නිපදවූ මාලවලට මුල්තැන දෙන, දේශීය දෑ අගය කරන අයද සිටින බව එම කාන්තාවෝ ප්රකාශ කරති.
ඡායාරූප සහ සටහන කතරගම - සන්දිම දේවප්රිය