වයස අවුරුදු 101යි තාමත් පාරේ හොඳ හැටි ඇවිදින දෙබරව මිසිනෝනා
උදේට හවසට තවමත් බුදුන් වඳින, හොඳ හැටි මහපාරේ ඇවිදගෙන යන, හොඳ මතක ශක්තියක්ද ඇති, දැනට කිසිදු බලවත් රෝගී තත්ත්වයක් නොමැති අවුරුදු 101ක මාතාවක් අපට දෙබර වැව ප්‍රදේශයේදී මුණ ගැසුණි. දෙබරව තම බාල පුතණුවන්ගේ සෙවණේ මේ වන විට දිවි ගෙවන මිසිනෝනා මාතාව 1916-12-16 දා, දෙවුන්දරදී මෙලොව එළිය දැක ඇත.
යොවුන් අවදියේදී රේන්ද ගෙතුම්, මැහුම් කටයුතු සඳහා දක්ෂතාවක් දක්වා ඇති මිසිනෝනා මාතාව පැවසූ පරිදි ඒකාලේ ඇඳුම් මසා ඇත්තේ ගිරයෙන් රෙදි කපාගෙනය.
අපේ විවාහ දිවිය ආරම්භ වෙනකොට මට හරියටම අවුරුදු 16යි. මට දරුවෝ දහ දෙනෙක් ලැබුණා, එයාලා උස්මහත්කරගෙන ජීවත්වීම මගේ අරමුණ වුණා. නමසිය තිස් ගණන් වල මම අන්දිරිස් අප්පු සමග තිස්සමහාරාම දෙබරව ප්‍රදේශයට පදිංචියට ආවා.
දරුවෝ හදාගෙන ගොවිතැන් කරමින් අපි ජීවත් වුණා. අන්දිරිස් අප්පු බෙරලිහෙල ප්‍රදේශයේ කැලේ කපලා කුඹුරු කළා. එයා බෙරලිහෙල කුඹුරු කරනකොට මම දෙබරවැව ඉදලා කෑම උයාගෙන ඔළුවේ තියාගෙන සැතපුම් ගාණක් දුර බෙරලිහෙලට පයින්ම යනවා. රෑට බෙරලිහෙල කුඹුරේ වාඩියේ ඉන්නකොට වැඩිහිටි කන්දේ පහන පත්තු වෙනවා පේනවා.
එක් දවසක් මම වත්තේ මුරුංගා ගස් වල නැගලා මුරුංගා මිටියක් කඩාගෙන තිස්ස පොළට ගිහින් එය විකුණාගෙන මාළුත් අරගෙන ගෙදර ආවා. එතකොට හවස් වෙලා තිබුණේ. මම හනිකට මාළු ඇඹුලක් හදාගෙන පසුදා කෑම හදාගෙන ගෙනියන්න සූදානම් කරලා නිදා ගත්තා. මට පාන්දර එකට විතර ඇහැරණා.
හඳ එළියට මට හිතුණේ එළිවේගෙන එනවා කියලා. මම ඉක්මනට සූදානම් කර තිබූ බතුයි, මාළුයි අරගෙන අන්දිරිස් අප්පු ඉන්න බෙරලිහෙල කුඹුරට යන්න පිටත් වුණා. මට මතක හැටියට තිස්ස වැව බැම්ම පසු වූ පසු අලියෙක් මගේ ඉදිරියට එනවා දක්කා.
ඒ කාලේ, අලින්ට පුදුම බයක් තියෙන්නේ. එදා අලියා ළඟටම මම යන්නේ නැහැ. මට වෙලාව වැරදුනා. මම අලියා ළඟට යනකොට රෑ දෙකට විතර ඇති. පාන්දරම ගියා නම් ඔය සිදුවීම වෙන්නේ නැහැ. වැවට,ඇළට වතුර ගේන්න යන කොට ඕන තරම් පොළඟා, පිඹුරා, නයා වැනි සත්තු ඉන්නවා අපිට ඒ සත්තු කිසිම කරදරයක් කරන්නේ නැහැ.
එදා අපිට එළ හරක් 25ක් පමණ හිටියා. උන්ගේ කිරි නගරයට අරගෙන ගිහින් විකුණුවා. කුඹුරුවල ගොයම් කැපුවාම ගෙදර වී කොටනවා. මම දරුවෝ දහ දෙනෙක් මෙලොවට බිහි කරලා ඒ අය අද වනවිට බැංකු, අධිකරණ, ව්‍යාපාරික ක්ෂේත්රවල නිරත වෙනවා.
මේ වනවිට මට තුන් මුනුපුරෝ 23 දෙනෙක් ඉන්නවා.
සියක් ආයු ලැබ දිවි ගෙවන්න ලැබීම පිළිබඳව විමසූ විට මිසිනෝනා මාතාව මෙසේ පවසා සිටියාය,
''අපි වගාකර ගත්ත දේවල් තමයි නිතරම ආහාරයට ගත්තේ. කුඹුරු පිටියේ, නියරවල් වල, ඈත කැලේ ගිහින් දර කැඩුවා. වංගෙඩියේ වී කෙටුවා. අඩුවෙන් ආහාර අරගෙන වැඩියෙන් වතුර බීවා. ඒවා තමයි ආයුෂ වැඩිවීමේ රහස්.
ඒ කාලේ සෑම පෝයකටම සිල් සමාදන්වූ බවත්, ගෙදර බතක් පිසීමෙන් අනතුරුව තමන්ගේ පංගුව අනුන්ට පිරිනැමීමට පවා තමන් පරිත්‍යාගශීලි වූ බව ඇය සතුටින් පවසා සිටියාය. ''
රුක්මන් රත්නායක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

