දුප්පත් ස්ත්රීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අසමත් වීම මගින් කාන්තාවන් අසහනයට පත්වීම, සාමයට තර්ජනයක් ඇතිවීම හා ලෝක සංවර්ධන ඉලක්කයන්වලට ළඟාවීමට නොහැකි වීම යන තත්ත්ව ඇතිවීමට මඟපාදන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ (UNFPA) නවතම වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ.
ඔවුන්ගේ නව වාර්තාවට අනුව ලෝකයේ වෙසෙන ස්ත්‍රී ප්‍රජාවගෙන් හරි අඩක් පමණක් වැටුප් ලැබෙන රැකියාවන්හී නිරත වෙයි. එමෙන්ම කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන් උපයන වැටුපෙන් සියයට 77 ක පමණ වේතනයක් බවද ඔවුන් පෙන්වා දෙයි. ලොව පුරා කාන්තාවන් පස්දෙනෙකුගෙන් කාන්තාවන් තිදෙනකුට මාතෘ ( ප්‍රසූත) නිවාඩු නොමැති බවත් ප්‍රසූත නිවාඩු ලබාගැනීම හේතුවෙන් සේවකයන්ට හිමිවන වරප්‍රසාද කප්පාදුවට ලක්වීම් වලට කාන්තාවන් මුහුණදෙන බවත් ඔවුන් මෙම නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි.
මෙලෙස කාන්තාවන් මුහුණ දෙන අසමානතාව කඩිනමින් විසඳනු නොලැබුවහොත් හා කාන්තාවන් බලාත්මක නොකළහොත් ඒ ඒ රටවල සාමයට තර්ජනයන් එල්ලවිය හැකි බවත්, එම රටවල සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ඊයේ (17දා) ප්‍රකාශයට පත්කරන ලද ‘ලෝක ජනගහනය 2017 ‘වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරයි.
කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා අයිතිවාසිකම් සමස්ත ගෝලීය ප්‍රජාවගේ සංවර්ධන ඉලක්කයන්ට ඇතුළත් විය යුතු බවද මෙම නව වාර්තාවේ සඳහන් වේ.
කාන්තාවන්ට පවුල් සැලසුම් ක්‍රම සමීප කිරීමට නොහැකි වීම මෙන්ම දුප්පත් කාන්තාවන්ට ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අසමත් වීමෙන්ද දුප්පත් කාන්තාවන් තවදුරටත් ආර්ථිකයට දායක වීම දුර්වල විය හැකි බවත් ඉන් දුප්පත්කම තුරන් කිරීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්ක කරා රටකට ළඟා වීමට නොහැකි වනු ඇති බවත් එහි දැක්වේ.
බොහෝ සංවර්ධනය වන රටවල දුප්පත් කාන්තාවන්ට පවුල් සැලසුම්කරණය සඳහා අවම විකල්ප අවස්ථා පවතියි. එසේම ඔවුන් දරු ප්රසූතියන්ට මුහුණ දෙන්නේ වෛද්‍යවරයකු හෝ වින්නඹු සේවක සේවිකාවන්ගේ සහාය නොමැතිව බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ට පවුල් සැලසුම් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති බැවින් වාර්ෂිකව සැලසුම් නොකළ ගැබ් ගැනීම් මිලියන 89 ක් සිදුවන බවත් එම ගැබ් ගැනීම් ගබ්සාවෙන් කෙළවර කිරීම් මිලියන 48ක් වාර්ෂිකව වාර්තා වන බවත් එහි දැක්වේ. මෙය කාන්තාවන්ගේ සෞඛ්‍යයට මෙන්ම කාන්තාවකට රටක ශ්‍රම බළකායට බැඳී හෝ රැඳී සිටීමේ හැකියාව සීමාකර ඔවුන්ගේ මූල්‍යමය ස්වාධීනත්වය කරා ගමන් කිරීමට ඇති හැකියාවටද හානි කරන බව දැක්වෙයි.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පහසුකම් අහිමි වීම, අදාළ සේවාවන් සඳහා ප්‍රවේශය නොමැති වීම මගින් නිවසෙන් පිටත රැකියාවක යෙදීමට කාන්තාවන් අධෛර්යමත් කරනු ලබයි. එසේම ශ්‍රම බළකායේ සිටින කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු අහිමි කිරීම් සහ ගර්භිණීභාවය නිසා සේවා යෝජකයන්ගේ වෙනස්කොට සැලකීම්වලට කාන්තාවන් ලක්වී මාතෘෘත්වය දඬුවමක් බවට සේවා ස්ථානයේදී පත්කිරීම නිසාද කාන්තාවන්ට රැකියාව හා මාතෘෘත්වය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවන බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.