ශ්‍රී ලංකාවේ හොඳම ගෙවත්ත බවට තම ගෙවත්ත පත්කරගත් දිරිය කාන්තාවක පසුගියදා අපට හමුවිය. ආර්.එම් . සුවිනීතා කුමාරිහාමි වන ඇය වත්තේගම, උඩුරාවන, මැදකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහනේ 2016 වර්ෂයේ විශිෂ්ටයන් ඇගයීමේ උලෙළේදී ශ්‍රී ලංකාවේ හොඳම ගෙවත්ත වෙනුවෙන් ඇය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා ත්‍යාග හා සමරු තිළිණ ලබාගත්තාය.
මෙම ජයග්‍රහණය පිළිබඳ ඇය අප හා මෙසේ පැවසුවාය.
''මම ගෙදර ඉන්න දවස්වල නිකමට වගේ මල් වගාව කළා. එම මල් ගස්වල ලස්සනට මල් පිපී තිබෙනවිට වගාව ගැන ආසාවක් ඇතිවුණා. එසේ සිටිනවිට රූපවාහිනියේ ගිය 'රන් අස්වනු මංගල්‍යය' වැඩසටහන, 'මිහිකත දිනුවෝ','රිවිදින අරුණැල්ල' වැනි කෘෂිකාර්මික වැඩසටහන් නැරඹුවා. එහි උපදෙස් අනුව මා වගාකරන්නට පටන් ගත්තා.
එම වැඩසටහන්වල පැවසූ උපදෙස් මා පිළිපැද්දා. ඒ අනුව 'රන් අස්වනු මංගල්‍යය' රුපවාහිනී වැඩසටහනට ඇතුළත් වෙලා ගෙවතු වගාවක්ද කළා. එයින් මා තේරුනේ නෑ. නමුත් මා එයින් පසුබැස්සේ නෑ. වගාව දිගටම කරගෙන ගියා. එසේම වත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි පර්යේෂණ නිලධාරී මහත්මියගේ මෙහෙයවීමෙන් පැවැත්වූ තරගවලටද ඉදිරිපත් වුණා. එහිදී තෙවන ස්ථානයද ලබාගත්තා.
පසුව වත්තේගම හිටපු කෘෂිකර්ම උපදේශක නවරත්න මහතාගේ මගපෙන්වීම යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ කලාප මට්ටමේ තරගයට 2010 වසරේදී ඉදිරිපත් වුණා. එහිදී 2 ස්ථානය හා මුදල් ත්‍යාගද ලැබුණා. වත්තේගම ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් වසරක් පාසා පවත්වන ගම් මට්ටමේ, ආසන මට්ටමේ තරගවලටද ඉදිරිපත්වී ජයග්‍රහණ ලැබුවා. එහිදී මට පාතදුම්බර ආසනයේ පළමු ස්ථානය ලැබුණා.
'නගරයට උයන්වතු' තරගයෙන් 2016 කලාප මට්ටමෙන් පැවැති තරගයෙන් මධ්‍යම පළාතේ පළමු ස්ථානය ලැබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර, මාතලේ, නුවරඑළිය කලාප මට්ටමෙන් පැවැති තරගයෙන්ද පළමු වන ස්ථානය ගත්තා.
මම මේ සියලුම දේ කරන්නේ මාගේ සෙවණැල්ල මෙන් ඉන්නා නංගීත් , ඉන්ද්‍රානි මහත්මියත් සමගයි. ඒ සඳහා මාගේ ස්වාමිපුරුෂයාත් මට නිතරම උදව් කළා.
මගේ ගෙවත්තේ විවිධ පලතුරු, එළවළු, අල වර්ග මෙන්ම ඔෟෂධ පැළෑටිද වගාකර තිබෙනවා. මෙහි නොමැති දෙයක් නැති තරම්. මගේ වගාව සඳහා කෘෂි රසායනික බෙහෙත් පොහොර යොදන්නේ නැහැ'' යනුවෙන් පැවසීය.
තම වගාවන් සඳහා කාබනික පොහොර පමණක් යොදන බව පැවසූ ඇය ගෙවත්තේ එකතුවන රොඩු, කුස්සියේ ඉවත දමන දේ භාවිත කර නිපදවාගන්නා කොම්පෝස්ට් පොහොර මේ සඳහා භාවිත කරන බවට පැවසුවාය. එසේම තම වගාව කෘමීන්ගෙන් බේරාගැනීම සඳහා කොහොඹ වැනි තවත් ශාක එකතුකර කෘමිනාශක ගෙදරදීම සාදා ගන්නා බවද ඇය අප හා පැවූවාය. සිය වගා කටයුතු සඳහා වත්තේගම කෘෂිකර්ම උපදේශිකා අයේෂා සේරම් මහත්මියගෙන් වටිනා උපදෙස් ලැබෙන බවද ඇය එහිදී ස්තුති පූර්වකව පැවසූවාය.
සිය වගා කටයුතුවලට අමතරව ගෙවත්තෙන් නෙළා ගන්නා කහවලින් කහ කුඩු සහ වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා සූදුරු, මාදුරු, කොත්තමල්ලි වලින් ඉතාම පිරිසුදුව සරක්කු හා කරල් මිරිස්වලින් මිරිස් කුඩුද සාදා සහනදායී මිලට අලෙවි කරන බවත්, ඊට අමතරව කුඹුරු ගොවිතැනේද යෙදෙන බවත් ඇය පැවසූවාය.
සිය ගෙවත්තෙන් සපයාගන්නා ආහාර භෝග, බෙහෙත්, ඖෂධ, පලතුරු, ඖෂධ පැළ, පන්සල්වලට මෙන්ම එම පැළ අවැසි අයටද ලබාදෙන අතර, වගාකටයුතුවල යෙදී සිටින ඕනෑම අයෙකුට අවශ්‍ය උදව් කිරීමටද සැදී පැහැදී සිටින බව ඇය ප්‍රකාශ කළාය.
වත්තේගම - නිමල් විමලසිරි