ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය හා සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
පසුගියදා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති 'පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනය' පිළිබඳ ප්‍රතිපත්ති සංවාදයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
''පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයන් අප සමාජයේ ජීවත් වන කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ එදිනෙදා ජීවිතවලට බලපාන බැරෑරුම් ප්‍රශ්නයක්. ලොව පුරා පැතිරුණු ප්‍රශ්නයක්. එමගින් කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ මූලික හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා.
කාන්තා හිමිකම් පිළිබඳ කටයුතු කරන ප්‍රධාන රාජ්‍යය ව්‍යුහය වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රතිපත්ති සංවාද ඉතා වැදගත් කාර්යයක් ලෙස සලකනවා. මෙම ප්‍රශ්න විසඳීම සඳහා දිගු කාලීන විසඳුම් හා යෝජනා කිරීමේදීත්, ප්‍රතිපත්ති සම්පාදනයේදීත් එය ඉතා වැදගත් පියවරක්.
පෞද්ගලික හේතු නිසා මෙන්ම වෘත්තීමය හේතු නිසාද සුරක්ෂිත පොදු ප්‍රවාහනය කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට අතිශය වැදගත් වෙනවා. ලිංගික හිංසනයන්ට බිය නොවී පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුයි. එසේ නොමැති නම් එය ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවන්ට හා පෞද්ගලක ජීවිතවලට අහිතකර වේ. එහි ප්‍රතිඵල මුළු රටටම බලපායි.
මෙම ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අප පියවර ගන්නේ නැති නම් කාන්තාවන් දිගටම සමාජයේ අවදානමට ලක්වූ පිරිසක් ලෙස පවතිනු ඇත.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ඇපකැප වී සිටින අතර, ප්‍රවාහන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පොලීසිය, මානව හිමිකම් ක්රියාකාරිකයන් සහ වෙනත් මේ පිළිබඳ උනන්දුවක් දක්වන සිවිල් සමාජ සංවිධාන සමග එක්ව සහයෝගයෙන් කටයුතු කෙරේ.
පසුගිය නොවැම්බර් මාසයේ දියත් කළ පුරුෂ සමාජභාව මත පදනම් වූ ප්රචණ්ඩත්ව හා සම්බන්ධ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරමින් සිටිනවා.
පොදු ප්‍රවාහනයේදී සිදුවන ලිංගික හිංසනයන් පිටුදැකීම මෙම ක්‍රියාකාරී සැලැස්මේ අංක 5.3 යටතේ අවධානයට ලක්වී තිබෙනවා. මෙම ප්‍රතිපත්ති සංවාද සමග මේ හා සම්බන්ධ ප්‍රාණවත් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සියලු කාන්තාවන් සහ ගැහැනු ළමයින් වෙනුවෙන් සුරක්ෂිත ප්‍රවාහන සේවාවන් තහවුරු කිරීම පිණිස අවශ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් කරන ලද සමීක්ෂණයෙන් අවධාරණය කළ පරිදි, මෙම ප්‍රශ්න හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ රැකියා සහ අධ්‍යාපනය සඳහා යාමට පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන් සහ ගැහැනු ළමයින් වේ.
රැකියා සහ අධ්‍යාපනය යනු කාන්තාවන් සහ ගැහැනු ළමයින් සවිබලගැන්වීම සඳහා ඉතා වැදගත් මූලිකාංග දෙකකි. ඔවුන්ට එම කාර්යයන්ගේ යෙදීම සඳහා කිසිදු බාධාවක් නැති බව තහවුරු කිරීම පිණිස අප සෑම දෙයක්ම කළ යුතුව තිබෙනවා. ඔවුන්ට එරෙහිව වැරදි සිදුකරන්නන් වැළැක්විය යුතු අතර, වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි.
මෙම ප්‍රතිපත්ති සංවාද මණ්ඩපයේ නායකයන් විසින් මෙම ප්‍රශ්න පිළිබඳ සිය දැක්ම සහ එහි විවිධ පැතිකඩ කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. එම පැතිකඩ වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාව, මානව හිකම්, නීති ක්‍රියාත්මක කිරීම, දැනුම්වත් කිරීම සහ උපදේශනය ආදියයි.
මෙම කාර්යය උදෙසා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට හිමි වෙනවා. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදෙන්නට සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීම පිණිස කටයුතු කිරීම උදෙසා සාකල්‍ය සහ කාර්යක්ෂම ප්‍රවේශයක් ඇති කරගනු පිණිස පදනම දැමීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ට වේදිකාවක් සැපයීමේ වැදගත් පියවර මෙම ප්‍රතිපත්ති සංවාදයෙන් ඇතිවන්නේ යයි මම බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන් පැවසූවාය.
පසුගිය 2015 වසරේදී ශ්‍රී ලංකාවේ පළාත් නවයේම පිහිටි සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කාන්තා පාර්ශ්වය සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන්ගෙන් 90%ක පිරිසක් පොදු ප්‍රවාහන බස් රථවලදී හා දුම්රියේදී කිසියම් හෝ ලිංගික හිංසනයකට ලක්වන බවට අනාවරණය වී තිබේ.
මෙම සමීක්ෂණය සඳහා 2500ක පමණ පිරිසකගෙන් අදහස් ලබාගැනීමට කටයුතු කර ඇත.
මේ පිරිසෙන් 90%ක කාන්තාවන් පිරිසක් සඳහන් කරන්නේ ඔවුන් පොදු ප්‍රවාහන බස් රථවලදී සහ දුම්රියවලදී ලිංගික හිංසනයට පත්ව ඇති බවයි.
නමුත් ඒ සඳහා පොලීසියේ සහාය පැතීමට ක්‍රියාකර ඇත්තේ 4%ක් වැනි සුළුතර පිරිසකි. ඊට බොහෝ සෙයින් හේතු වී තිබෙන්නේ ලිංගික හිංසනය සිදුවන අවස්ථාවේ පොලීසියට පැමිණිලි කිරීම ප්‍රායෝගිකව අපහසු තත්ත්වයක් වීමයි.
බොහොමයක් අවස්ථාවලදී ලිංගික හිංසනයක් හෝ ප්‍රහාරයක් එල්ලවන විට වින්දිතයා සහ වැරදිකරුවා අසල තවත් පිරිස් සිටිති. ඔවුන් සිද්ධියේ සාක්ෂිකරුවන් විය හැකිය. නමුත් බස් රථවල හෝ දුම්රියවල වෙනත් මගීන් මෙවැනි තත්ත්වයන් සඳහා මැදිහත් වීමට මැලිකමක් හෝ අකමැත්තක් දක්වන්නේ ගැටුම්වලට මැදිහත් වීමට ඇති අකමැත්ත හා තමන් කෙරෙහි අවධානය යොමුවීම කෙරෙහි පවතින අකමැත්ත හේතුවෙනි.
මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන හිංසනයෙන් මිදීම සඳහා විකල්ප පොදු ප්‍රවාහන පහසුකම් නොමැති වූ විටදී සමහර වින්දිත කාන්තාවන් සිය පදිංචිය පවා වෙනස්කර ඇති බවට වාර්තා වේ.
කොහොමද වෙලා තියෙන්නේ?
මෙම අධ්‍යයනයේදී ලිංගික හිංසන ගණයට ගැනෙන විවිධවූ ක්‍රියාවන් 30කට අධික ගණනක් හඳුනාගැනීමට සමත්වී තිබේ. එම ක්‍රියාවන් අනවශ්‍ය ශරීර ස්පර්ශයේ සිට වාචික මෙන්ම දෘෂ්‍යමය ක්‍රියාවන් දක්වා පුළුල් පරාසයකට විහිදේ. නමුත් හඳුනාගෙන ඇති ආකාරයෙන් බහුලවම සිදුවී ඇත්තේ ශාරීරික වශයෙන් සිදුවන හිංසනයයි.
- සිතා මතාම ශරීරයේ කොටස් ස්පර්ශ කිරීම.
- පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝනය කිරීම.
- අසුන් ගැනීමේදී අයෝග්‍ය හැසිරීම් දැක්වීම.
- හිංසකයාගේ ලිංගික අවයව වින්දිතයාගේ ශරීරයේ ඇතිල්ලීම.
- සිතාමතාම වින්දිතයාගේ කකුල පෑගීම.
- ශරීර කොටස් දෙස අනවශ්‍ය ආකාරයට බලා සිටීම.
- දුරකථන අංකය ඉල්ලීම.
- කාමුක බැල්ම
යනාදී ක්‍රියාවන් නිරන්තරයෙන් සිදුවන හිංසාකාරී ක්‍රියාවන් ලෙස හඳුනාගෙන තිබේ.
පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයක් සිදුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන්නේ බොහෝ විට දුරගමන් සේවාවන් තුළදීය. එහිදී ඇතැම් විට දිගු කාලසීමාවක් වින්දිතයා හිංසනයට ලක්වීමට හැකිය. මෙම ක්‍රියා වැඩිපුර සිදුවන්නේ උදෑසන හා සවස කාර්යාලයීය වේලාවන් තුළදීය.
මේ ආකාරයෙන් හිංසනයට ලක්වීම කාන්තාවන්ගේ එදිනෙදා කටයුතුවලටද බාධා ඇති කිරීමට සමත්ව ඇත. ඇතැම් අවස්ථාවලදී දරුණු සහ පිළිකුල් සහගත තත්ත්වයකට පත්වන බව මෙම අධ්‍යනයේදී හෙළිවී තිබේ.
මෑත කාලයේ සිට ලිංගික හිංසනය සඳහා නව තාක්ෂණය යොදාගන්නා අවස්ථාද හඳුනාගෙන ඇත. ඒ අනුව ඇතැම් පිරිස් ජංගම දුරකථනයේ කැමරාව භාවිත කරමින් ඇතැම් තරුණියන්ගේ ශරිරයේ කොටස් පටිගත කරන අතර, සමහර අවස්ථාවලදී එම වීඩියෝ දර්ශන අසභ්‍ය වෙබ් අඩවිවලට විකිණීමටද ඔවුන් කටයුතු කර තිබේ.
මොකක්ද මේ වෙනුවෙන් ලංකාවේ තිබෙන නීතිය?
බොහොමයක් කාන්තාවන් නොදන්නා කරුණක් බවට පත්ව තිබෙන්නේ ලිංගික හිංසනය සඳහාවූ මෙරට තිබෙන නීතිමය ප්‍රතිපාදන පිළිබඳවය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය අනුව, 'කිසිදු පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රීපුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.'
එමෙන්ම, වර්ෂ 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටස අනුව ලිංගික හිංසනය දැඩි දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි. එම කොටස අනුව ලිංගික හිංසනය යටතට පහරදීම්, සාපරාධී බලය යෙදවීම, හිංසනයට ලක්වන්නාවූ තැනැත්තා කුපිත කිරීමට හේතුවක් වන වචන හෝ ක්‍රියා අයත් වේ.
දැන්වත් මේක නවත්තන්න එකතු වෙමු
පොදු ප්‍රවාහන සේවාවන්හිදී විශේෂයෙන්ම බස් රථවලදී සිදුවන හිංසනවලට වින්දිතයන් සුලභවම දක්වන ප්‍රතිචාරය වනුයේ හිංසනය අතරතුරදී හා හිංසනයෙන් පසුවද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
හිංසනයෙන් තොර ජීවිතයක් ගතකිරීම ඔබ සතු පරම අයිතිවාසිකමකි. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන පවා සම්පාදනය කර ඇති අවස්ථාවක ඒ වෙනුවෙන් හිංසනයට විරුද්ධව නැගී සිටීමට හෝ හඬ අවදි කිරීමට ඔබ ලැජ්ජාවට හෝ බියට පත්විය යුතු නැත.
කාන්තා ඔබට ඕනෑම අවස්ථාවක බස් රථයේදී මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවුවහොත් එවෙලේම පොලිස් හදිසි ඇමතුම් අංක 119 අමතා දැනුම්දී බස් රථය තිබෙන ස්ථානය සඳහන් කරන්නේ නම් පොලීසිය වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටී. කිසියම් හිංසන ක්‍රියාවක් සිදුවනු දුටු විට ඊට මැදිහත් වීම හෝ එය වැළැක්වීමට හැකියාවක් අවට සිටින්නන්ට තිබේ.
එමගින් හිංසකයන් සහ එවැනි ක්‍රියා අධෛර්යයට පත්කළ හැකිය. මෙවැනි ක්‍රියා පිටු දැකීම සඳහා පවතින හොඳම විසඳුම වන්නේද මෙයයි. හෙට දිනයේ මේ හිංසාවට පත්වන්නේ ඔබේම සොයුරිය හෝ මව හෝ බිරිඳ හෝ විය හැකිය. ඒ නිසා ඔබත් මෙය ඔබේ වගකීමක් බවට පත් කර ගන්න.