පන් වියමින් සතුටින් සිටින වියපත් මවක්
දිනෙන් දින අභාවයට යන පැරණි පන්කොළ කර්මාන්තයට ජීවය දෙමින්, එය තමාගේත් සැමියාගේත් එකම ආදායම් මාර්ගය කරගත් දිරිය මාතාවක් සොරණාතොට, කිතුල්ගොල්ල ගම්මානයේදී අපට හමුවිය. ඇය නමින් ඩී.එම්. නන්දාවතීය.
කුඩා කල සිටම තමුන් පුරුදු පුහුණු වූ පන් කර්මාන්තය නිසා අදටත් තම දරු මුණුපුරන්ට බරක් නොවී ජීවත්වන බව ඇය අප හා පවසා සිටියාය.
මේ වනවිට 75 වැනි වියේ පසුවන ඇය, සිය සැමියාද සමග හුදකලාව තම නිවසේ ජීවත්වන්නීය. ගං ඉවුරුවල වැවෙන වැටකෙයියා සහ පන්කොළ මෙන්ම පොල් ගස්වලින් වැටෙන පොල් කොළද සැමියා හා එක්ව කපා ගෙනවිත් ඒවා පදම් කර අලංකාර රටා සහිත වට්ටි, පෙට්ටි, පැදුරු වියා ඒවා අලෙවි කර තම දරුවන් හදාවඩා උස් මහත් කළ බවත්, දරුවන් විවාහ වීමෙන් පසුවද තම ජීවන තත්ත්වය පවත්වා ගන්නේ මෙම රැකියාවෙන් බවත් ඇය පවසා සිටියාය.
සිය රැකියාව පිළිබඳව තෘප්තිමත් වන ඇය පැවසූවේ මෙවැන්නකි. " මේක හුඟක් පරණ කර්මාන්තයක්. ඉස්සර මේ ප්රදේශවල විශාල පිරිසක් මේ කර්මාන්තයේ යෙදුණා. අපේ අම්මලා, ආත්තම්මල හැමෝම කළේ මේ රස්සාව. ඒ කාලේ හැවන් වට්ටියක්, පෙට්ටියක්, පැදුරු හතඅටක් නැති ගෙයක් මේ අහල ගම් හතකවත් තිබුණෙ නැහැ. ඒ වගේම වට්ටි, පෙට්ටි නැතිව ඒ කාලේ ගෙදරක වැඩක් පළක් කරන්නත් බැහැනෙ.
ඒත් අද හැමෝම කඩේට ගිහින් ප්ලාස්ටික් බඩු ගේන්න පටන්ගෙන. හැම එකක්ම අද ප්ලාස්ටික්වලින් හදපු දේවල් තමා හැමෝම ගේන්නෙ. හැබැයි වට්ටි, පෙට්ටි ටික වියාගන්න අමාරු වුණත් කිසි දුකක් නැහැ. ගොඩ දෙනෙක් ගෙදරටම ඇවිත් ඒවා අරන් යනවා.
ප්ලාස්ටික්වලට අකමැති විශාල පිරිසක් ඉන්න නිසා තාම මට මේවා විකුණගන්න එතරම්ම කරදරයක් නැහැ. වට්ටියක්, පෙට්ටියක්, පැදුරක් රුපියල් 200-300ක් වගේ ගාණකට විකුණ ගන්න පුළුවන්.
මම වියන වට්ටි, පෙට්ටි ගොඩගැහෙනකම් තියෙන්නෙ නැහැ. අවට ගම්වල අය ඇවිත් ඒවා සල්ලි දීලා අරන් යනවා. සමහරු වියලා දෙනකම් වාඩිවෙලත් ඉන්නවා. තව වියන්න පුළුවන්නම් ඒවාට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් අපි වයසයි. එකදිගට ගොඩක් වැඩ කරගන්න බැහැ. ඒත් මිනිස්සු මේව අගය කරලා අරන් යනකොට මට හරි සතුටුයි.
පන් කපන්න, සුද්ධ කරන්න, මැදලා දෙන්න වගේ දේවල්වලට මගේ සැමියා මට උදවු කරනවා. එයාටත් ලොකු වැඩක් කරන්න බැරි නිසා මම පැදුරු වියනකම් ළඟ ඉඳගෙන ඒවාට උදවු කරනවා."
මීගහකිවුල - එන්.කේ. නිශ්ශංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




