ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත 2016 වර්ෂයේ පැමිණිලි 9361ක් ලැබී ඇති අතර, ඉන් 700ක් ලිංගික අතවර සම්බන්ධ සිදුවීම් වන බවත්, එයිනිදු සිදුවීම් 300ක්ම බලහත්කාරයෙන් දූෂණයට ලක්කිරීම් වන බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ළමා ලිංගික වෙළෙඳාම සහ අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කලාපීය උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සඳහා සාර්ක් සංවිධානයේ නියෝජිතයන් ඊයේ 23දා කොළඹදී එක්වූ අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ දිළිඳුකම, පාසල් අතහැර යාම, අනාරක්ෂිත බව, දෙමාපියන්ගේ ආරක්ෂාව ගිලිහී යෑම යන හේතු මත දරුවන් ලිංගික අතවරයන්ට ගොදුරු වන බවයි.
තවද අන්තර්ජාලය භාවිතය මගින්ද දරුවන් බහුල වශයෙන් ලිංගික අතවරයන්ට නිරාවරණය වෙන බවද ඇය සඳහන් කළාය. ෆේස්බුක්, ට්විටර්, ගූගල් සෙවුම් ජාලය ආදිය හරහා ළමුන්ට තොරතුරු මෙන්ම අන්තර්ජාලය ආරක්ෂිතව භාවිත කිරීමට නොහැකි වීම තුළින් මෙවැනි ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් ඇවිස්සෙන ආකාරයේ වීඩියෝ හා වෙනත් මානසික බලපෑම්වලට ලක්වෙන දෑවලටද දරුවන් නිරාවරණය වීමට ඉඩ ඇති බව මෙහිදී අමාත්‍යවරිය සඳහන් කළාය.
බටහිර රටවල පවතින තාක්ෂණය අනුව මෙවැනි තත්ත්වයන්ට දරුවන් නිරාවරණය නොවී අන්තර්ජාලය භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවත් කලාපීය රටවල් තුළද එවන් වූ ක්‍රමවේද සලස්වා ගැනීම වෙනුවෙන් මෙවන් උපායමාර්ගික සැලසුම් සැකසීමේ අවශ්‍යතාව මතුවන බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.