උස්වැටකෙයියාවට නොදුරු කැපුන්ගොඩ ප්‍රදේශයේ පවතින්නේ මනරම් වූ වෙරළ තීරයක්. මේ අපූරු කතාවට උරුමකම් කියන කතා නායිකාවත් ඉපදුනේ මේ කැපුන්ගොඩ ප්රදේශයේමයි. ඇය නමින් මෙරීනා ප්‍රනාන්දු. නමුත් දන්න හඳුනන හැමකෙනෙක්ම ඇයව හඳුන්වන්නේ 'මාරි අම්මා' යනුවෙන්.
තමන් කුඩා කාලයේ ඉඳලම හැදුණු වැඩුණු, තමන්ගේ අවුරුදු 58ක ජීවිත කාලය තවමත් ගතකරන කැපුන්ගොඩ වෙරළ තීරය දැනට අවුරුදු පහක හයක ඉඳලා විනාශ වෙමින් යන බව දකින මාරි අම්මාගේ හිතට දැණුනේ දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක්.
ඒ නිසයි ඇය දරුවන් තුන්දෙනෙක්ට දක්වපු ආදරය සහ සෙනෙහස තමන් ඉපදුණු කැපුන්ගොඩ වෙරළ තීරය වෙනුවෙනුත් දක්වන්න තීරණය කරන්නේ.
මේ ඉඩකඩ වෙන්වන්නේ මාරි අම්මාගේ ඒ අපූරු කතාව ඔබට පැවසීමටයි.
' ඉස්සර අපි පොඩිකාලේ මුහුදු රැළිත් එක්ක මේ වෙරළට ගොඩගහනවා දැක්කේ රබර් ඇටයි, දර කෝටුයි, මුහුදු ඛාදනයට අහුවෙලා ඇදිලා ආපු පොල් ගහක් වගේ දේවලුයි විතරයි. ඒවා මේ පරිසරයට කිසිම ප්‍රශ්නයක් වුණු දේවල් නෙවෙයි. ඒවායෙන් මේ අවට මිනිස්සු ගොඩක් ප්‍රයෝජන ගත්තා. ප්ලාස්ටික් තියා වීදුරු බෝතල් කෑල්ලක්වත් ඉස්සර මේ වෙරළට ගොඩගැහුවේ නැහැ. ඒත් දැන් අවුරුදු පහ හයක ඉඳලා ප්ලාස්ටික් මූඩි කෑල්ලේ ඉඳලා ගෙදරක හුරතලේට ඇති කරන බල්ලගේ හරි පූසගේ හරි මළකුණ වෙනකම් කුණු මහා ගොඩක් වෙරළට හැමදාම ගොඩගහනවා.'
අප කැපුන්ගොඩ වෙරළ වෙත යනවිටත් වෙරළ පවිත්‍ර කරමින් සිය සුපුරුදු දේවකාරිය ඉටුකරමින් සිටි මාරි අම්මා අප සමග කතාබහට එක්වූයේ ඒ අයුරිනි.
'දැන් අවුරුදු හයක හතක ඉඳලා මුහුදු රැල්ලත් එක්ක පොලිතීන් කෑලි, ප්ලාස්ටික්, ඉටිරෙදි, රෙජිෆෝම්, ටියුබ් ලයිට්, වීදුරු බෝතල්, යකඩ තහඩු, සත්තුන්ගේ මළකුණු වගේ කුණු ගොඩක් මේ වෙරළට හැමදාම ගොඩගහනවා. දවසින් දවස මේ ගොඩගහන කුණු ගොඩ වැඩි වෙනවා මිසක කිසිම අඩුවක් නැහැ. මම ඉපදුනේ මේ වෙරළේ, පොඩි කාලේ ඉඳලා සෙල්ලම් කළෙත් මේ වැල්ලෙමයි. ඒත් අද ඉන්න දරුවෙක්ට ඒ කාලේ වගේ දැන් මේ වෙරළට බැහැලා දුවලා පැනලා සෙල්ලම් කරන්න විදිහක් නැහැ. දුර පළාත්වලින් පවා මිනිස්සු එනවා මේ වෙරළ බලලා දවස ගතකරලා යන්න. ඒ මිනිස්සු ආයෙත් හැරිලා යනවා, සමහරු දුක්වෙනවා වෙරළට වෙලා තියෙන විනාසේ දැකලා. ඒ තරමට ජරාව පිරිලා.'
දිනෙන් දින වෙරළට සිදුවන මහා විනාශය තවදුරටත් ඉවසීමට මාරි අම්මාට හිත නුදුන් බැවින් මීට අවුරුදු හයකට පමණ පෙර එක්තරා දිනක සිය වියදමින්ම සපයාගත් රේක්කයකුත්, කුණු බඳුනකුත් ආදී පිරිසුදු කිරීමේ උපකරණ කිහිපයක් රැගෙන පාන්දරම මාරි අම්මා සිය ස්වාමි පුරුෂයා සමග තමන්ගේ නිවසට පිටුපසින් තිබෙන කැපුන්ගොඩ වෙරළට බහින්නේ දවසම හෝ මහන්සි වී මේ වෙරළ සුද්ධ පවිත්‍ර කරන අධිෂ්ඨානයෙන්.
දවස පුරාම වෙහෙස වී මීටර් 400ක පමණ විශාල වපසරියක් සම්පූර්ණයෙන්ම පිරිසුදු කිරීමට මාරි අම්මාත් ඇගේ ස්වාමි පුරුෂයා වුණු ජෝසප් පෙරේරාත් සමත් වෙනවා.
එදා පටන් අද දක්වා පුරා අවුරුදු 6ක කාලයක් සතියේ දවස් හතම මාරි අම්මා කැපුන්ගොඩ වෙරළ තීරයේ මීටර් 400කටත් වැඩි වපසරියක් දේවකාරියක් විදියට සලකලා පිරිසුදු කරනවා.
නමුත් දැන් වසර දෙකක ඉඳලා මාරි අම්මා ඒ හැම කටයුත්තක්ම කරන්නේ තනිවමයි.
&මම මේ වැඩේ පටන් ගත්ත දවසේ ඉඳලා මට උදව් කළේ මගේ මහත්තයා. එයා කලින් හොඳ දක්ෂ ධීවරයෙක්. ඒත් දැන් අවුරුදු දෙකක ඉඳලා එයා අංශභාගයෙන් පෙළෙනවා. ඒ නිසා එයාට හරිහැටි වැඩ කරන්න අමාරුයි. ඒත් අද වෙනකම්ම මගේ මහත්තයා මාව වචනයෙන් හරි දිරිමත් කරනවා. අපිව දැනට බලා කියාගන්නේ අපේ දරුවෝ තුන්දෙනා. එයාලා දැනට විවාහ වෙලා මේ අවට පදිංචිවෙලයි ඉන්නේ.
හැමදාම මම නැගිටින්නේ පාන්දර හතරට. ඒ නැගිටලා මහත්තයාගේ කසාය ටික තම්බලා, එයාගේ කටයුතු ඔක්කම සිද්ධ කරනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් අතුගාලා. දෙවියන්ට පහන තියලා යාඥා කරලා දේවමෑණියන්ගෙන් ඉල්ලන්නේ මට මගේ අද දවසේ කටයුතු කරගන්න උදව් කරන්න කියලා. දේවමෑණියෝ අඩුවක් නැතුව ඒ ශක්තිය මට දෙනවා. ඒ ඔක්කොම කටයුතු පාන්දර පහ වෙනකොට ඉවර කරලා මගේ රේක්කෙයි අනිත් උපකරණ ටිකයි අරගෙන වෙරළට බැහැලා සුද්ද කරන්න පටන් ගන්නවා.
පාන්දර පහමාරට පටන් ගන්න වැඩේ උදේ නවය විතර වෙනකම්ම කරනවා. ඉර අව්වත් එක්ක එකදිගට වැඩ කරන්න අමාරුයි. මොකද මම ලෙඩෙක්. මට අධි රුධිර පීඩනය, හෘද්‍යාබාධ, මිග්රේන් වගේ ලෙඩ ගොඩක් තියෙනවා. ඒත් එහෙමයි කියලා මම කවදාවත් මේ වැඩ නවත්තන්න හිතලා නැහැ. දවසේ ඉතුරු වෙලාවේ මගේ වැඩ කරලා ආයෙත් සවස 4ට විතර අව්ව අඩු වෙද්දී ආයෙත් වැඩ කරනවා. ඒ විදියට හැමදාම මීටර් හාරසීයකටත් වැඩි දුරක් මම සුද්ද කරනවා.
මේ කුණුවල කෙළින්ම වෙරළට දාන කුණුවලටත් වඩා තියෙන්න පිටින් දාලා වෙරළට ගොඩදාන කුණු. සුද්ද කරන කුණු ඔක්කොම මම පොලිතීන්, ප්ලාස්ටික් වෙනම වීදුරු වෙනම, දර කෑලි වෙනම ගොඩගහලා කුණු වෙන් කරනවා. සමහර දවස්වලට සත්තුන්ගේ මළකුණු ගොඩ ගහනවා. ඒවාට කපුටෙක් කොටන්නවත් මම ඉඩ දෙන්නේ නැහැ. ඉක්මණට වළ දානවා. මුල්කාලේ නම් පොලිතීන් ප්ලාස්ටික් පුච්චන එක තමයි මමත් කළේ. ඒත් මෑතකදී පොලිතීන් ප්ලාස්ටික් පිච්චුවාම පිළිකා හැදෙනවා කියලා දැනගත්තාම ඒක නැවැත්තුවා. මෙච්චර කාලයක් කළේ වැරදි දෙයක් නේද කියලා මතක් වෙලා කනගාටුත් වුණු අවස්ථා තිබුණා. දවසින් දවසේ මේ ගොඩගහන කුණු වැඩි වෙන නිසා දරන මහන්සියත් ගොඩක් වැඩියි. ඒත් මේක දැන් මගේ ජීවිතේම කොටසක් වෙලයි තියෙන්නේ.
සමහර දවස්වලට කාගේ හරි අයිඩින්ටිත් ගොඩ ගහලා තිබිලා හම්බවෙනවා. ඒ හැම අයිඩින්ටියක්ම මම මගේ සල්ලිවලින්ම ලියාපදිංචි තැපෑලෙන් යවනවා. මොකද සාමාන්‍ය තැපෑලේ යවලා හම්බවුණේ නැත්නම්.'
මේ සෑම කාර්යයක්ම මාරි අම්මා සිදුකරන්නේ කිසිවෙකුවත් දෙන මුදලකට හෝ වරප්‍රසාදයක් මත නොවේ. අඩුම තරමින් මාරි අම්මාට සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ. ඇයට ඒ සඳහා තිබෙන එකම පෙළඹවීම තමන් උපන් පරිසරයට ඇය දක්වන අසීමිත ආදරය පමණයි.
පරිසරයට එතරම්ම ආදරය කරන මාරි අම්මාට මිනිසුන් අතර සිටින තිරිසනුන් කිහිපදෙනෙකුගෙන් සිදුවෙන සහ සිදුකරලා තිබෙන කෙනෙහිලිකම් ගැන ඇය අප හා පැවසුවේ සමහර අවස්ථාවල සංවේදී වෙමින්.
'අවුරුදු හයක් තිස්සේ මම කරගෙන යන මේ වැඩේට උදව් කරන්න කවුරුවත් නැතත් අකුල් හෙළන්න ගොඩක් අය ඉන්නවා. දවසක් මම වෙරළ සුද්ද කරන්න ගිහින් මගේ රේක්කෙයි, අත්වැසුම් දෙකයි අනිත් දේවල් ටිකයි තියලා පොඩ්ඩක් ගල් වැටියෙන් එහා පැත්තට ගිය විනාඩි පහට ඒ ඔක්කොම උස්සන් ගිහින් තිබුණා. තවත් සමහර දවස්වලට හැම තැනකම අසූචි දාලා යනවා. ගොඩ ගහලා, වෙන් කරලා පොහොර මලුවලට දාලා තියෙන කුණු ඔක්කොම ආපහු හලලා අවුස්සලා දාලා යනවා. තවත් සමහරු ප්ලාස්ටික් කෑලි එකතු කරලා තිබුණ මලු හොරෙන් අරන් යනවා. ගොඩක් අය මගෙන් අහන්නේ උඹට පිස්සුද මේ විකාර කරන්නේ, උඹට වෙන වැඩ නැද්ද කියලා. මේවා නිසා හිත රිදුණු වාර අනන්තයි. දිගින් දිගටම කෙනහිලිකම් එද්දී මගේ මහත්තයා වගේම දරුවොත් කියනවා දැන් ඕක නවත්තන්න කියලා.
ඒත් මේ කිසි දෙයක් මම නවත්තන්නේ නැහැ. මම හැමදාම දේවමෑණියන්ගෙන් ඉල්ලන්නේ මේවා දරාගෙන මගේ කටයුත්ත හොඳින් කරගෙන යන්න මට ශක්තිය දෙන්න කියලා. හවසට මිනිස්සු ළමයි එක්ක මේ වෙරළට ඇවිල්ලා නිදහසේ ඇවිදලා සතුටු වෙලා යද්දි මට දැනෙන සතුට කියාගන්න බැහැ.'
මේ තමන් උපන් බිමටත් අම්මා කෙනෙක් වූ මාරි අම්මාගේ අපූරු කථාවයි. මාරි අම්මව අපිට මුණගැස්සුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාවික හමුදා කමාන්ඩර් බුද්ධික ජයවීර මහත්මයායි.
මාරි අම්මා ඔබ අප සෑම දෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ එක දෙයක් විතරයි. ඒ තමන් උපන් පරිසරයට තමන්ට ජීවත් වෙන්න කිසිම අඩුවක් නැතුව හැමදෙයක්ම දෙන මේ පරිසරයට ආදරය කරන්න කියලයි.