හැත්තෑහතර වියෙහි පසුවූවද තවමත් ජව සම්පන්නව පන් පැදුරු, ගල්ලැහැ පැදුරු, ගොක්කොළ පැදුරු, රටා මවන කාන්තාවක් අම්බලන්තොට, බැරගම ප්‍ර‘දේශයේ වෙසේ. ඇගේ ඇඟිලි තුඩුවලින් පැවසෙන්නේ ලාංකේය අපේම හස්ත කර්මාන්ත අනන්‍යතාවයක අවසන් යුග මෙහෙවරක කතාවයි. ඇය නමින් වලවේගමගේ මැගිනෝනාය.
1943 වසරේ මාර්තු 24දා මෙලොව එළිය දකින මැගිනෝනා තරුණවියේදී තම ජීවන සහකරුවා වන ජයරත්න ගමගේ ධනපාල සමග යුගදිවි ගමන් ඇරඹූ අතර, දූ දරුවන් 11 දෙනෙකු මෙලොවට ජනිත කිරීමටද ඇය සමත් විය.මැගිනෝනා උපතින්ම පැදුරු වියා ගෙත්තම් කර හැඩ කිරීමේ දක්ෂතාව සහිත කාන්තාවක් වන අතර, ඇය තම විවේකී කාලය අර්ථවත් කරමින් ඉතා අලංකාරව පන් පැදුරු රටා මවයි. එමගින් ඇය විශාල මානසික තෘප්තියක් ලබයි.
තම ජීවන අත්දැකීම් පිළිබඳ ඇය මෙසේ අප හා දොඩමළු වූවාය. "දරුවන් 11 දෙනාට කිසිම දවසක පිටිකිරි පෙව්වේ නැහැ. මම නිතරම හොඳට කොස් පොළොස්, පලාවර්ග, මෙනේරි කුරක්කන් කෑවා. වැව්මාළු කෑවා. ඒවා කාලා තමයි ඇඟට ශක්තිය ලේ ගත්තේ. දරුවන්ට මම මවුකිරි හොඳට දුන්නා. ඒ නිසා දරුවන් හොඳට වැඩුණා. මම තව දරුවෙක් හදාගන්නත් ගත්තා. එතකොට දරුවෝ ඔක්කොම 12 දෙනයි. අපි දරුවන්ට තුන්වේලම බත් කන්න දුන්නා. දරුවෝ හොඳට උස්මහත් කෙරුවා. දරුවන්ට අපේකම, හැදියාව, ගුණදහම්, නිරතුරුව කියා දුන්නා. ලෝවැඩ සඟරාවේ කවිවල තියෙන ගුණදහම් දරුවන්ගේ ජීවිතවලට මම නිතරම ලබාදුන්නා.
මගේ හත්වෙනි දරුවා පූජ්‍යපාද බැරගම ඥානතිලක නමින් පැවිදි වුණා, අද උන්වහන්සේ වැලිගත්ත විද්‍යා සෝභිත මහා පිරිවෙන ආරම්භ කරමින් ශ්‍රී ඥානලංකාර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපති ධුරය හොබවමින් සුවිශාල ශාසනික මෙහෙවරක් සිදුකරනවා"
සිය දරුවන් දෙදෙනෙකුම උපාධිධාරීන් ලෙස අධ්‍යාපනය ලබා ඇති බවත්, තමන් කුඹුරේ, හේනේ, වගා කරමින් ගඩොල් කපා උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වියදම් කළ බවත්, මැගිනෝනා පවසන්නීය. දරුවන් කුඩා කළ ඔවුන්ට සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණු විට කොත්තමල්ලී තම්බා වතුර බීමට දුන් බවත්, තුඹකොළ හොද්ද බඩේ අජීර්ණවලටත්, ඇඟපත වේදානාවට වෙනිවැල්ගැට තැම්බූ වතුර ලබාදුන් අතර, ලෙඩදුක් කරදර වැඩි වූ වේලාවක වතුර කළයක් මතුරා ඇඳුරුකම් කිරීම සිරිතක් කරගෙන තිබුණු බවත් ඈ අප හා පවසා සිටියාය.
එමෙන්ම අතීතයේදී තමා රේන්ද ගෙත්තම් කිරීමටත් මනා දක්ෂතාවක් දැක් වූ බව මැගිනෝනා පවසා සිටියාය. තමන් සෑම පෝයදාකටම සීල සමාදන් වූ බවත්, දැනටත් පෝදාට සිල්ගැනීම සිරිතක් කරගෙන සිටින අතර, දඹදිව වන්දනා චාරිකාවේද තමන් ගිය බව ඈ අප හා පවසා සිටියේ උතුරා යන සතුටකිනි.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක