කම්කරු නීති මෙන්ම කම්කරු අයිතිවාසිකම් කාන්තාවන්ටද අදාළය
කම්කරු අයිතීන් වැඩි වැඩියෙන් කතා කරන මාසයක් තමයි මේ ඇරඹිලා තිබෙන්නෙ. බොහෝ දෙනෙක් කම්කරු අයිතීන් අණපනත් ගැන කතා කළත් එහිදී කාන්තාව සම්බන්ධයෙන් ඇති කම්කරු අණපනත් මොනවාද යන්න අමතක වී ඇති බවක් දැකගන්න පුළුවන්.
සමස්ත ජනගහනයෙන් අඩකටත් වඩා කාන්තා නියෝජනයක් තිබෙන අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් පවතින කම්කරු නීති සහ නීතියෙන් කාන්තා කම්කරුවෙකුට ලැබිය යුතු සහන සම්බන්ධව අවධානය යොමුකිරීම කාලෝචිතයි. ඒ නිසා අද අප තීරණය කළා කාන්තාවන් වෙනුවෙන් ඇති කම්කරු නීති, අණපනත් මොනවාද යන්න සොයා බැලීමට. මේ සම්බන්ධව තොරතුරු දැක්වූයේ නීති ආධාර කොමිෂන් සභාවේ නීති නිලධාරිනී නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මියයි.
කම්කරුවෙකුට තිබිය යුතු සියලු අයිතිවාසිකම් කාන්තාවකටද තිබිය යුතුයි. මෙහිදී කාන්තාවන් යම් මෙහෙකාර සේවයක යොදවනවා නම් අනිවාර්යයෙන්ම ඇයගේ කැමැත්ත තිබිය යුතුයි. එසේ නොමැතිව ඇය මෙහෙකාර සේවයේ යෙදීමට නොහැකියි. මෙසේ යොදනවා නම් කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය තිබිය යුතුයි.
ඒ වගේම කාන්තාවන් සේවයේ නියුතු වන කාලසීමාව අනුවද යම්යම් නීති තත්ත්වයන් ඇති බව මතක් කළ යුතුයි. එහිදී කාන්තාවක් උදෑසන හයේ සිට පස්වරු හය දක්වා සේවයේ යෙදුණා නම් එම කාන්තාව එදිනම රාත්‍රී දහයෙන් පසුව සේවයේ යොදවන්න කිසිසේත් බැහැ. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස ගණන් ගැනෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ සේවයේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම අමතර දීමනා ලබාදිය යුතුය.
ඒ වගේම කාන්තාවක් රාත්‍රී කාලයේ සේවයේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම එම රැකියා ස්ථානයේ කාන්තා පාලිකාවක් යෙදවීම අත්‍යවශ්‍යයි.
කාන්තාව වෙනුවෙන් ඇති අනෙක් කම්කරු නීති සම්බන්ධව සාකච්ඡා කිරීමේදී EPF, ETF ගැන අවධානය යොමුකළ යුතුමයි. නමුත් මේ සියලු අයිතීන් අනුව අවිධිමත් සේවයේ යෙදෙන අයට ලංකාවේ ගෙවීමක් කරන්නෙ නැහැ. එය ලංකාවේ දකින්න ලැබෙන ගැටලුවක්. ඒ ලංකාව තුළ කම්කරු සේවය කියන දේ විධිමත් විදිහට ගොඩනැගිලා නැතිකමයි. නමුත් නීතිය හැටියට සියලු රැකියාවල නියුතුවන්නන්ට ඒ දීමනා ලැබිය යුතුයි.
එසේ ගෙවීමක් නොකළහොත් ප්‍රදේශයේ කම්කරු කොමසාරිස්, සහකාර කම්කරු කොමසාරිස්ට ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්.
ඒ වගේම ලංකාව තුන්වැනි පන්තියේ රටක් නිසා ඉතා කුඩා වයසේ සිට රැකියාවල නිතර වීම දැකගන්න පුළුවන්. මෙහිදී වයස අවුරුදු 14-18ක් අතර ළමයින් කම්කරු සේවයේ එසේ නැතහොත් අවදානම් තත්ත්වයේ රැකියාවල නිතර වීම නීතියෙන් තහනම් කර තිබෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් ඇති කම්කරු නීති ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රසූත නිවාඩු ප්‍රධාන තැනක් ගනී. එහිදී රාජ්‍ය සේවකයෙකුට නම් දින 184ක නිවාඩුවක් වැටුපක් සමග ලැබෙන අතර, අර්ධ රාජ්‍ය සේවකයන්ට දින 41ක නිවාඩු කාලයක් ලැබෙනවා.
නමුත් වතුකම්කරුවන්ට ලැබෙන්නෙ දින 14ක තරම් සුළු කාලයක්. මෙහිදී නැගෙන ප්රශ්නය තමයි මේ හැමෝටම ලැබෙන්නේ දරුවෝ නම්, මේ හැමෝම සේවය කරන්නේ අපේ රටට නම් ඇයි මෙහෙම අසමානතා කියන ගැටලු පැන නැගෙන්නෙ.
අනෙක් කාරණය තමයි සේවා ස්ථානය ආශ්‍රිතව දිවා සුරැකුම් මධ්‍යස්ථාන අප රට තුළ ඇති කරනවා නම් අද වෙන බොහෝ අපචාර සහ ගැටලු නවතා ගන්න පුළුවන්. ඒ හරහා ළමයින්ට රැකවරණයක් ලබාදිය හැකිය.
ඒ වගේම කාන්තාවන්ට රැකියා කරන ස්ථානයේ සිදුවන ලිංගික හිංසන සඳහා අනිවාර්යයෙන්ම මාර්ගෝපදේශ පද්ධතියක් සහ එවැනි හිංසනයක් වුවහොත් දඬුවම් දිය යුත්තේ කෙසේද යන්නෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් තිබිය යුතුයි.
ලංකාවේ කම්කරු ජනතාව ලෙස කාන්තාවගෙන් ලැබෙන සේවය සුළුපටු නොවේ. ඇය ගෘහනියක් වුවද ඇයද කරන්නේ රටට සේවයක්. ඒ තම ස්වාමියාගේ රැකියා හරිහැටි කිරීමට මෙන්ම පවුල රැකගැනීමට ඇය දෙන සහයෝගය අමතක කළ නොහැකියි. නමුත් අපේ රටේ කිසිමදාක දළ ජාතික නිෂ්පාදනය සඳහා ගෘහනිය කරන කාර්යභාරය ගණන් නොගැනීම කනගාටුවට කරුණක්.
මේ කම්කරු දිනයේදී මතක් කළ යුත්තේ දේශපාලන රැස්වීමවල ඡන්දය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් විවිධාකාර බොරු පොරොන්දු දීම නොව, රට වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබාදී ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කිරීම කාගේ යුතුකම බව මේ කම්කරු දිනය මහ ඉහළින් සමරන මේ දිනවල කොයි කාටත් මතක් කළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

