දුක, සතුට මේ දෙකම ඇති වන්නේ සිතුවිලි නිසයි. සිතුවිලි හරියට දෙපැත්ත ම කැපෙන රන් කඩුවක් වගේ. ඒ නිසා මෙම බොහොම වටිනා වස්තුව පරිහරණය කළ යුත්තේ තෝරා බේරා ගෙන බොහොම පරිස්සමෙන්. මන්ද සිතුවිලි පාලනය කරගත හැක්කේ තමන්ටම පමණක් නිසයි.
එසේ නොමැතිව වඳුරාට දැලි පිහියක් ලැබුණා වගේ වැනෙන වැනෙන අතට සිතුවිලි පරිහරණය කළොත් එයින් සිදුවන හානිය අපමණයි. ඒ නිසා අපට ඇතිවන සියලු ආවේග හමුවේ එයට ප්‍රතිවිරුද්ධ වන පරිදී, පිරිසුදු සිතුවිලි ඇතිකර ගැනීමෙන්, ඒ ඒ මොහොතේදීම සැනසීම ළඟා කරගත හැකි වෙනවා.
යමෙකුට Stress (දුකක්) නැතිව ජීවත් වීමට අවශ්‍ය නම්, මුලින්ම කළ යුත්තේ ඇතිවන සිදුවීම නිසියාකාරව අවබෝධ කරගැනීමයි. ඉන් අනතුරුව %Stress^ නැවැත්වීම සඳහා පියවර ගතයුතු වෙනවා. සිත ඇවිස්සීම නතර කරගැනීමට නම් අධිෂ්ඨානය අවශ්‍ය විය යුතුයි. ඉන් අනතුරුව සීලය නිවැරදිව ආරක්ෂා කරගනිමින් අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන පරිදී තම සිතට එන ආවේග පිට නොකිරීමට කටයුතු කළ යුතු වෙනවා. මේ ඇවිස්සීම යටපත් කිරීමෙන් හෝ සටන් කිරීමෙන් නිවා ගත නොහැකියි. ඒ සඳහා ශරීරය සැහැල්ලු (Relax) කර ගැනීමෙන් හිත සන්සුන්කර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා %Stress^ නැති කර ගැනීමට අපට එදිනෙදා ජීවිතයේ පුරුදු පුහුණු කළ හැකි කායික හා මානසික අභ්‍යාස කිහිපයක් මා ඔබට පවසන්නම්.
අපේ හිතට යම් කිසි තරහවක් ආශාවක් බයක් හෝ ශෝකයක් වැනි ආවේගයක් ඇති වූ විගසම අප මුලින්ම කළ යුත්තේ එම ඇවිස්සීම හඳුනා ගැනීමයි. ඉන් පසුව බුද්ධියෙන් තර්කානුකූලව නිවැරදිව ඒ පිළිබඳව කල්පනා කිරීමෙන් එම ආවේගය ඉවත් කර ගැනීමට හැකි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදී %යෝනිසෝ මනිසිකාරය^ හිතේ නිවීමටත් %අයෝනිසෝ මනසිකාරය^ හිතේ කැළඹීමටත් හේතු වෙනවා.
මෙය ඔබට තවදුරටත් පැහැදිලි කළොත් අප ගතකරන ජීවිතයේ අතීත මතක සටහන් (Memories) මගින් හිත කැළඹේ නම්, ඒ මතක සටහන් හැකි විගස හිතින් ඉවත් කළ යුතු වෙනවා. එම මතක සටහන් වෙනුවට එයට ප්‍රතිවිරුද්ධ පිරිසුදු අරමුණක් ඒ වෙනුවට සිතට නගා ගත යුතුයි. මේ ගැන උදාහරණයක් මම පෙන්වා දෙන්නම්. අපට යම් කිසි කෙනෙක් දෝෂාරෝපණය කරමින් බැණ වැදුනා යයි හිතමු. අප හැම කෙනෙකුම මේ ජීවිත කාලය පුරාවට එවැනි අත්දැකීම් ලබාඇති. එවැනි සිදුවීම් මතකයේ තබා ගනිමින් තරහවට හා වෛරයට හිත තුළ පැලපදියම් වීමට ඉඩ හැරීම තමන් විසින් තමන්ට කරගන්නා හානියක්. එසේ නම් ඔබ කළ යුත්තේ එම අවස්ථාවේදීම ඔහු හා ගැටීමක නොයෙදී පුද්ගලයෙකු වශයෙන් ඔහු තුළ පවතින ගුණාංගයක් සහිපත් කරගැනීමයි.
ඒ පුද්ගලයාගේ ගුණයක් නොදන්නේ නම් ඔබ නොදැනුවත් නම් ඔබ කළ යුත්තේ ඔබට බොහෝ හිතවත් කරුණාවන්ත පුද්ගලයෙකු ගැන සිතීම, එහෙමත් නැත්නම් තුණුරුවන් හෝ තමා අනුගමනය කරන නිර්මල ආගමික නායකයෙකු පිළිබඳ සිහිපත් කිරීමයි. එවිට ඔබේ සිතට පුදුම සැහැල්ලුවක් දැනේවි.
යමෙකුට ශ්‍රද්ධාව, භක්තිය, විරාගය, මෛත්‍රිය, කරුණාව ආදිය වැඩෙන පිරිසුදු සිතුවිලි අරමුණු කරගත හැකි නම්, එම සිත පහසුවෙන් කිලිටි වන්නේ නැහැ, නිතර පිරිසුදුව පවත්වා ගන්නා සිත නිවීමට බර වෙනවා. මෙය ඉතාමත් පහසුයි ඔබ නිතර ‘‘සුවපත් වේවා’’ යන සිතුවිල්ල අරමුණෙහි තබා ගන්න කලක් ගතවන විට ඔබටම ඔබේ සිතෙහි පවතින වෙනස දැනේවි.
අපි භාවනා කරන්න කියල වෙනම කාලයක් වෙන් කරගන්නේත් මේ සඳහාමයි. අපි හැම අවස්ථාවකදිම මෙත් සිතුවිල්ලෙන් සිත පහන් කරගන්නවා නම් එයම අපේ සිත නිවීමට හේතුවක් වෙනවා. උදෑසන හෝ හවසට ඇවිදීමෙන් හෝ ව්‍යායාම කිරීමෙන් අපේ ශරීරයේ මාංශ පේශීන් බුරුල් කිරීමක් සිදුවෙනවා. ඉන් අනතුරුව එකත් පසෙක වාඩි වී සන්සුන්ව මනස පවත්වා ගැනීමට පුරුදු පුහුණු වන්නේ නම් එය %Stress^ අඩු කර ගැනීමට ඉමහත් උපකාරකයක් වනවා. ඒ වගේම යෝග අභ්‍යාසවල නිවැරදිව යෙදීමට පුහුණු වීමෙන්ද මෙය පහසුවෙන් කළ හැකියි.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විවරණ මුල් කර ගනිමින් භාවනාවෙහි යෙදීමෙන් හිත සුවපත් කරගත හැකියි. ඒ වගේම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමේදී අනිච්ච, දුක්ඛ, අනාත්ම, යන්න මෙනෙහි කරන්න. අපේ පැරැන්නෝ ඒ කාලයේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම අනිච්ඡේ දුක්ඛේ කියනවා අපි අහල තියනවා.
නිතර වර්තමාන මොහොත ගැන පමණක් හිතන්න. මියැදුන අතීතය හෝ අවිනිෂ්චිත අනාගතය පිළිබඳ සිතීමෙන් හිත සන්සුන් කරවාගත නොහැකියි. අපේ හුස්ම රැල්ල පවතින්නේ වර්තමානයේ මේ මොහොතේ පමණයි. ඔබ නිතර ඒ ගැන සිතන්න එ සැණින් තම හුස්මට අවධානය යොමුකර ගැඹුරු හුස්ම කිහිපයක් ගැනීමෙන් ඕනෑම කලබලකාරීත්වයක් මැඩ පවත්වාගෙන හිත සන්සුන් කරගත හැකියි.
නිතරම තම හිත ගැන අවධානය යොමු කිරීමෙන් සිත තුළ සිදුවන ක්‍රියාවලිය, තමන් නිතර නිතර දකින්නට පුරුදු වීමෙන් සිතේ අසිහිය නිසා ගොඩනැගෙන චිත්තාවේග මැඩ පවත්වාගත හැකි වෙනවා. ඔබ විවේකීව ඉන්න වේලාවන්හිදී ‘‘මට දැන් කොහොමද මාව දැනෙන්නේ ? මම සන්සුන්ද, නැද්ද? යනුවෙන් තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න. එවිට තමාගේ ස්වභාවය දැන හැඳින ඉකනින්ම තමාගේ යථා ස්වභාවයට පත්වීමට හැකි වෙනවා.
අප හැම දෙනාම සැහැල්ලුවෙන් සතුටෙන් හා සැනසීමෙන් ඉඳීමට ස්වභාවයෙන්ම කැමැත්තක් දක්වන බව අමතක කරන්න එපා. අපට ඇතිවන ආවේග නිසි අයුරින් හඳුනා ගැනීමෙන් ආවේග පාලනය කිරීම පහසු වෙනවා. ඒ වගේම සිතුවිලි හුදෙක් සිතුවිලි පමණක් බව හඳුනා ගැනීමෙන් සිතුවිලි පාලනය කිරීමට පහසු වෙනවා.
නිතර සිතේ පවත්නා අසන්තෝෂය හා කනස්සල්ල පාලනය කර ගැනීමට කළ හැකි ක්‍රියාකාරකම්.
1. තම සිතේ පවතින කිලුටු නැත්නම් සෘණාත්මක සිතුවිලි බැහැර කරගන්න.
2. ධනාත්මක සිතුවිල්ලෙන් සිත පුරවාගන්න නිතර උත්සාහ ගන්න.
3. ඔබ නිතර අනුන් ගැන සිතමින්, තමන්ගේ නැති බැරිකම් අනුන් හා සසඳා බැලීමට පුරුදු වී ඇත්නම් ඒ පිළිබඳව නිතර සිතමින් කනස්සල්ලට පත්වන්නේ නම් මානය නිසා මෙම මැනීමෙන් ඔබව ජීවිත කාලය පුරාවටම අසංතෘප්තියෙන්ම තබන බව සිතන්න.
4. තමන්ට ඇති දේ ගැන පමණක් සිතා ලද දෙයින් සතුටට පත්ව තම ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට පිහිටක් වීමට සිතන්න. ඔබටත් වඩා අසරණ වූ පිරිසක් මෙලොව අපමණ වෙසෙන බව සිතන්න. කුසට නිසි අහරක් නොමැතිව, හිසට නිසි සෙවණක් නොමැතිව, පිපාසයට වතුර පොදක් නොමැතිව අනන්ත අසරණව දුක් විඳිමින් මියයන මිනිසුන්ගේ ජීවිතයනට සාපේක්ෂව ඔබ කෙතරම් වාසනාවන්ත දැයි සිතන්න.
‘‘මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා. කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා.’’ බලන්න මේ ගේය කාව්‍ය කොටස කෙතරම් අර්ථවත්ද කියලා. එසේ නම් ඔබට ඇති දේ, නොමැති මිනිසුන් අතර ඔබ සැබෑ වාසනාවන්තයෙක් නොවේද ?
(මතු සම්බන්ධයි)
සාකච්ඡා සටහන අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ