Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
ආහාර අපි සියල්ලන්ගේම මූලික අවශ්‍යතාවයකි. මේ නිසාම නිවසක ආහාර පිළියෙළ කරන කාන්තා ඔබ දරන්නේ අතිවිශාල වූ භාරධූර වගකීමක් බව අපට සඳහන් කළ හැකිය. මන්දයත් ඔබ පිළියෙළ කරන ආහාර රටාවට ඔබේ පවුලේ සාමාජිකයන් මුළු ජීවිත කාලයම වුවත් හුරු වන බැවිනි. මේ දිනවල අප සමාජයේ අසන්නට ලැබෙන්නේ නියඟයත් සමග ආහාර අර්බුදයට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවට කෙරෙන ප්රකාශනයන්ය.
මෙවැනි කතාබහ නිසා නුදුරේදීම ඔබට කොස් කොළ, ක්‍රෝටන් කොළ යොදා ගනිමින් ආහාර පිළියෙළ කරන්නට සිදුවනු ඇතැයි බියකින්ද ඇතැම් විට ඔබ පසුවනවා විය හැකිය. සැබෑවටම ආහාර හිඟයක් උදාවුවහොත් ඔබට කොස් කොළ, ක්‍රෝටන් කොළ හැර වෙන යමක් ආහාර ලෙස සකස් කිරීමට නොහැකිද? මේ පිළිබඳව මෙන්ම, මෙවැනි අභියෝගයයන් සමග ගෘහනියක ලෙස නිවසේ ආහාර පරිභෝජනය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ අප සමග අදහස් දැක්වීමට, වයඹ සරසවියේ මානව පෝෂණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රේණුක සිල්වා මහතා සම්බන්ධ විය.
සීමිත ආහාර රටාවන්ට හුරු වීම
අපි හැමෝම ගැන සලකලා බැලුවොත් ඉතාම සීමිත ආහාර රටාවන්ට හුරුවී ඇති බවත් දැකගත හැකියි. ඒ කියන්නේ අපි ආහාර කීපයකට කොටුවෙලා ඉන්නේ. එය ලංකාවේ තත්ත්වය පමණක් නොවේ මුළු ලෝකයම මුහුණ දෙන ගැටලුවක් බවට පත්වෙලා තියනවා. මේ නිසාම මුළු ලෝකයම අනාගතයේ මුහුණදෙන ගැටලුවක් බවට හඳුනාගෙන ඇත්තේ මේ සීමිත ආහාර අහිමි වුණොත් අපිට මොකද වෙන්නේ කියන එක. මීට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වුණ මිනිස්සු විවිධ ආහාර වර්ගවලට හුරුවෙලා තිබෙනවා. විශේෂයෙන් ආදිවාසීන් සැලකුවාම ඔවුන් පලතුරු වර්ග 25කට වඩා ආහාරයට ගෙන ඇති බවට සාක්ෂි හමුවෙනවා. ඒ වගේම අල වර්ග දහයකට වඩා ආහාරයට ගෙන තිබෙනවා.
ඇට නැත්නම් ධාන්‍ය වර්ග 36ක් ආහාරයට ගෙන තියෙනවා වගේම මල් වර්ග 32ක් ආහාරයට ගෙන තිබෙන බවට සාක්ෂි තිබෙනවා. අද අපි ආහාරයට ගන්න මල් වර්ග බැලුවොත් කෙසෙල් මලට සීමා වී ඇති බව පෙනී යනවා. දැන් මුළු ලෝකයම බැලුවොත් ධාන්‍ය වර්ග දෙක තුනකට සීමා වී ඇති බවක් පෙන්නුම් කරනවා. ආසියාතිකයන් වී වලටත්, යුරෝපාවාසීන් තිරිඟු වලටත්, අප්‍රිකානු ජනතාව ඉරිඟු වලටත් දැන් සීමා වී තිබෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ විදිහට අපි ආහාරවලට සීමා වී තිබීම වර්තමානය වන විට අවදානම් සහගත වී තිබෙනවා. මේ නිසා ගෘහනියන් විදිහට අපේ මුතුන්මිත්තෝ ආහාරයට ගත් දේවල් මොනවාද කියලා සොයා බලලා විවිධත්වයෙන් යුතු ආහාර රටාවන්ට නැඹුරු වීමත්, පවුලේ අය නැඹුරු කරවීමත් ඉතා වටිනා කාරණයක් වී තිබෙනවා.
ගෙවතු වගාව
අපි මේ සඳහා හිතකර ගෙවත්තක් නැත්නම් පරිසරයක් සකස්කර ගැනීමත් වැදගත් කටයුත්තක්. මොකද අතීතයේ ආහාර වර්ග වගා කළ ආකාරය ගැන බැලුවොත් හේන හා ගෙවත්ත මූලික කරගෙන තිබූ බව කියන්න පුළුවන්. අද වගේ පාත්ති ක්‍රමයට එදා වගා කළේ නැහැ. කලවම් වගාවක් විදිහට හේන් ගොවිතැනයි කළේ. එහෙමත් නැත්තම් ඉතා හොඳ ගෙවතු වගාවක් අතීතයේ අපිට තිබුණා. ගෙවත්තේ වුණත් පිළිවෙළට පාත්ති නොදමා කලවම් භෝග වගා කළා. එක තැනක පළා වර්ග හා එළවළු, තව තැනක මිරිස් පැළ දෙක තුනක් විශේෂයෙන් කුස්සියට අවශ්‍ය වන ගස් වර්ග ඔවුන් ගෙවත්තේ වගා කළා.
ආහාර රටාවේ විවිධත්වය
පැරණි අය සීනි භාවිත කළේ නැහැ. ඒ වෙනුවට හකුරු, පැණි භාවිත කළා. මූලිකවම කිතුල් හා මී ශාකයේ මල් පැණි, වීර යුෂ මී පැණි රස ලබාගැනීමට අපි භාවිතකර තිබෙනවා. ඉතිං අපිට සීනි ආහාරයට නොගෙන මේ දේවලුත් පැණි රස වෙනුවෙන් භාවිතයට ගන්න අදටත් පුළුවන්. අපේ රටේ පැරැන්නන් ගොඩක් මස් වර්ග ආහාරයට ගෙන නැහැ. මස් කෑව අයත් කාල තියෙන්නේ දඩ මස් වර්ගයි. ඒවත් කලතුරකින්. නමුත් අපි කිරි හා බිත්තර ආහාරයට හුරු වී සිටි බවට රොබට් නොක්ස්ගේ කෘතිවල සඳහන් වෙනවා. බිත්තර ලබාගැනීමට කිකිළියන් ගෙවත්තේ ඇතිකර තිබෙන බවට එහි සඳහන් වෙනවා. ඒ වගේම අපේ පැරණි ආහාර රටාව එක එක පුද්ගලයා අනුවත් වෙනස් වෙලා තිබෙනවා.
මූලිකව ළමයින්ට ලබාදෙන ආහාර, වැඩිහිටියන්ට ලබාදෙන ආහාර, වයසක අයට ලබාදෙන ආහාර ලෙස වගේම අසනීප වූ අයට දෙන ආහාර, ගර්භිණී මව්වරුන්ට ලබාදෙන ආහාර හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ආහාර ලෙස අපේ ආහාර රටා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම සිරුර වෙහෙසෙන මට්ටම් අනුවත් ආහාර රටාවන් වෙනස් වී තිබෙනවා. ඇතැම් ආහාර වර්ග එකට අනුභව නොකළ තත්ත්වයක් අපේ පැරණි ආහාර රටාවේ දැකගත හැකියි. උදාහරණ ලෙස ආපේ පැරැන්නන් මස් ආහාරයට ගත්තානම් මී කිරි අනුභවයට ගෙන නැහැ. එයට හේතුව ඇතැම් විට ප්‍රෝටීන බහුල වීම නිසා යැයි උපකල්පනය කළ හැකියි.
අතීතයේ අපි ප්‍රධාන ආහාරය ලෙස සකසන බත් පවා විවිධ ආකාරයන්ට ආහාරයට එකතු කරගෙන තිබෙනවා. ඉතිහාස මූලාශ්‍ර අනුව අපේ රටේ වී වර්ග දෙදාහක් පමණ තිබිලා තිබෙනවා. ඒ වගේම බත් පිසගන්න ආකාරත් ගණනාවක් තිබිලා තිබෙනවා. අතීතයේ තිබුණු හාල් වර්ග වලින් අදටත් හීනැටි, දික් වී, මසුරන්, කහවනු , කුරුළුතුඩ, මා වී යන ඒවා ඉතිරිව පවතිනවා. මේ වී වර්ග බැලුවාම සමහර වී වර්ග ගරභිණී මව්වරුන්ට, සමහර ඒවා දිරවන්න පහසු නිසා ඒ වී වර්ග රෝගීන්ට ලෙසයි අතීතයේ වී වර්ග තිබිලා තියෙන්නේ. අතීතයේ හාල් වලින් කැඳ වර්ග රැසක් පිළියෙළ කරලා තිබෙනවා. මූලිකව ලුණු කැඳ, කොළ කැඳ, කිරි කැඳ වගේ කැඳ වර්ග අතීතයේ සකස්කර තිබෙනවා.
ඒ වගේම බත් වර්ග ගැන බැලුවාම ඒකාකාරී බවක් තිබිලා නැති බව කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බත් වර්ග පිසගනිද්දී එයට එකතුකර තිබෙන දේවලුත් වෙනස් වෙලා තිබෙනවා. එයින් ආහාරවලට අතිරේක පෝෂණයක් එකතු කරගන්න පැරැන්නන් උත්සාහ කර තිබෙනවා. ඒ කාලෙත් ෆ්‍රයිඩි රයිස් තිබිලා තියෙනවා. ඔවුන් බත් තෙම්පරාදු කර තිබෙන්නේ ගිතෙල් භාවිත කරලා. පැණි රස බත් තිබිලා තියෙනවා. හකුරු දාලා තමයි මේ බත පිළියෙළ කර තිබෙන්නේ. මීළඟට තැඹිලි වතුර, ගිතෙල්, කිතුල් පැණි හා කුළු බඩු එක්කර පිළියෙළ කළ සේවරි බත් නැත්තම් තුනපහ රස ඉස්මතු වෙන බතක් ඔවුන් පිළියෙළ කර තිබෙනවා. තව සියඹලා එක්කර ඇඹුල් බතක් පිළියෙළ කර තිබෙනවා.
අපි කවුරුත් අහල තියෙන හීල් බත කියන්නේ පෙරදා රාත්‍රියේ පිසූ බත මීළඟ දවසේ උදෑසන ආහාරයට එක්කර ගැනීමයි. ඒ වගේම කහ එකතු කර කහබතක්, සුනුසහල් වලින් කුඩු බත ලෙස අසනීප අයට දිරවීමට පහසු බතකුත් ඔවුන් පිළියෙළ කරගෙන තිබෙනවා. ඒ වගේම පෝෂණයෙන් වැඩි දියබත් ඔවුන් සකස් කරගෙන තිබෙනවා. පෙර දින රාත්‍රියේ පිසූ බතට පොල්කිරි, රතු ලූනු, අමු මිරිස් කපලා දාලා ලුණු හා දෙහිත්, වතුරත් එකතු කර පසුදා උදෑසන වන තෙක් තබා ආහාරයට ගෙන තිබෙනවා. මෙම බත ගැන කිව්වාම අපි වර්තමානයේ ආහාර නිෂ්පාදන වල අඩංගු යැයි දැන්වීම් යොදන ප්‍රෝ බයෝටික් කියන හිතකර බැක්ටීරියා වර්ග බහුල ආහාරයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මෙය දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් වැනි රෝගවලට ඉතා හොඳ ආහාරයක් ලෙස සඳහන් කළ හැකියි.
මීලගට අපේ කිරිබත් ගැන අවධානය යොමු කළොත් කිරිබත් පවා විවිධ ආකාරයෙන් ධාන්‍ය මිශ්‍ර කරගෙනයි පිළියෙළ කර තිබෙන්නේ. උදාහරණ ලෙස මුංඇට කිරිබත්, කුරක්කන් මිශ්‍ර කිරිබත් සඳහන් කළ හැකියි. අපි අද ආහාරයට ගන්න හුරුවෙලා තිබෙන්නේ නිකන්ම හාල් තම්බලා සකසන බත්වලට. නමුත් අතීතයේ බත්වලට කුරක්කන්, සෝගම්, බඩඉරිඟු වගේ දේවල් කලවම් කරගෙන තිබෙනවා. මේ නිසා අපිට හාල් නැති වුණත් කුරක්කන්, බඩඉරිඟු වගේ දේවල් ආහාරයට ගන්න හැකියාවක් ලැබී තිබෙනවා. අද අපිට වී නැත්තම් බඩගින්නේ ඉන්න වෙන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. නමුත් අතීතයේ ආහාරයට ගත් කුරක්කන්, සෝගම් වගේ ධාන්‍ය ඉඩෝරයෙත් වගා කරන්න හැකියාවක් ඇති නිසා පැරැන්නන් ආහාර හිඟයකට මුහුණ දීලා නැහැ. මේ නිසා අපිත් විවිධ ආහාර රටාවන්ට හුරුවිය යුතුයි.
අපි කොස් ගැන කතා කළොත් අතීතයේ මිනිස්සු පොළොස් ඇඹුල ලෙස, පොළොස් මැල්ලුම, කොස් තැම්බීම, වරකා හෝ වැල , කොස් ඇට ලෙස ආහාරයට ගෙන තිබෙනවා. කොස් ඇට කියන්නේ පිෂ්ඨය ඉතා අධික, දිරවන්න වෙලා යන, බඩ පුරවා දමන ආහාරයක්. ඉතින් මිනිස්සු කොස් බහුල කාල වලදී කොස් ඇට කල් තබාගෙන ආහාරයට ගෙන තිබෙනවා. දැන් තිබෙන අවාසනාව තමයි කොස් ගස් යට ගෙඩි වැටිලා නාස්තිවෙලා ගියත් ගම්වල ජනතාව කොස් ආහාරයට නොගෙන ඉන්න පුරුදු වී තිබෙන එක. නගරයේ අය තමයි ටිකක් හරි කොස් ආහාරයට ගන්න හොයන්නේ.
ඛනිජ ලවණ හා විටමින් බහුල පලාවර්ග
අපි ආහාරයට ගත් කොළ වර්ග බොහෝමයක් තිබෙනවා. එයින් ජනප්‍රිය ඒවා තමයි ඉරමුසු, හාතාවාරිය, පොල්පලා, ගොටුකොළ, රණවරා, කොහිල දළු වගේ දේවල්. මේවායිනුත් ප්‍රදේශවලට ආවේණික කොළ වර්ග තිබිලා තියෙනවා. නමුත් අපි දැන් ගොටුකොළ, මුගුණුවැන්න, කංකුං වලට සීමාවෙලා තිබෙනවා. අපි මේ කියන කොළ වර්ග තුනට අමතරව වෙනත් කොළ වර්ග ආහාරයට එකතු කරගන්නවා නම් අපිට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ සෑහෙන ප්‍රමාණයක් ලබාගත හැකියි. විටමින් හා ඛනිජ ලවණ අඩු කොළ වර්ගයක් ලෙස නිවිති හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි නිවිති වලට වඩා යකඩ අඩංගු වෙනත් කොළ වර්ග කන්න හුරුවෙන්න ඕන.
කතුරුමුරුංගා, මුරුංගා කොළ ගත්තාම මුරුංගා කොළවල ඉතා හොඳ පෝෂ්‍ය පදාර්ථ අඩංගු බව කිව යුතුයි. ඉතින් මේ වගේ පෝෂණය බහුල ආහාර හොයාගන්නවා නම් අපි සුපිරි වෙළෙඳසැල් වලට නොගිහින් ගමේ පොළට යන්න පුරුදු විය යුතුයි. උඩරටින් එවන එළවළු වලට අමතරව ගම් වලින් ගේන පෝෂණයෙන් වැඩි ආහාර වර්ගත් පොළෙන් මිලදී ගැනීමට හැකිවනවා වගේම ඒවා විකුණන ආච්චි මේවා සකසන ආකාරයත් ඔබට කියලා දේවි. අතීතයේ මෙනේරි , තල හාල්, අමු වගේ ධාන්‍යත් ආහාරයට ගෙන තිබෙන බව මතක් කළ යුතුයි. ඉතින් අපේ ගෘහනියන් හුරුවෙන්න ඕන මේ වගේ ආහාර පිළියෙළ කිරීමට.
එළවළු වර්ග ආහාරයට ගැනීමේදී
අපි අතීතයේ ආහාරයට ගත් එළවළු ගැන බැලුවොත් ශරීරය සිසිල් කරන කැකිරි, පුහුල්, තිබ්බටු, අලු පුහුල්, වැටකොළු, මඤ්ඤොක්කා, කොළ මුරුංගා, රතු තම්පලා වගේ දේවල් ආහාරයට ගෙන තිබෙනවා. ලෝලු කොළ , මඩු කොළ, කෝවක්කා කොළ, තල් කොළ, අඟුණ කොළ, නෙලුම් අල හා නෙලුම් ඇට වගේ දේවල් ආහාරයට ගෙන තිබෙනවා. මේවායෙන් අපිට අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය අඩු නැතිව ලැබී තිබෙනවා. බීට්, කැරට්, බෝංචි, නෝකෝල් වගේ එළවළු මාරු කරමින් ආහාරයට ගන්න අපි අද පුරුදු වෙලා තියනවා. ඒ හේතුවෙන් අපිට අවශ්‍ය බොහෝ පෝෂ්‍ය පදාර්ථ අහිමිවෙලා තිබෙනවා.
අල වර්ග ආහාරයට ගැනීමේදී
අල වර්ග ගැන ගත්තොත් අපේ රටේ අල වර්ග ගණනාවක් ආහාරයට ගන්න පැරැන්නන් පුරුදුවෙලා තිබෙනවා. රාජ අල, ඉන්නල, ගහල, බුත්සරණ, ඇඟිලි අල වගේ විවිධ ප්‍රදේශවල වැවෙන අල වර්ග පනහකට වඩා තිබෙන බව වාර්තා වෙනවා. මේ අල වලින් අපිට පිටි විතරක් නොවෙයි ලැබිලා තියෙන්නේ. රතුපාට, කහපාට අල වලින් අපිට ප්‍රතිඔක්සිකාරක ලැබිලා තියෙනවා.
පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී
අපි අද කෙසෙල් ගෙඩි, ගස්ලබු වගේ පලතුරුවලට සීමා වුණාට අදටත් කාමරංගා අපිට ඉතිරිව තියෙනවා. කාමරංගා අද වෙද්දී ලෝකය පුරා ඉතා ගුණදායක පලතුරක් ලෙස ශීඝ්‍රයෙන් ජනප්‍රිය වී තිබෙනවා. දේශීය දෙලුම්, දිවුල්, බෙලි, නෙල්ලි, පළු, වීර, අනෝදා පලතුරුත් ඉතා ගුණදායකයි.
විශේෂයෙන් කටු අනෝදා පිළිකා නසන්න පුළුවන් ගුණයක් තිබෙන පලතුරක් ලෙස අද විශ්වාස කරනවා. කජු පුහුලම්, ලාවුලු, වෙරලු වගේ කොයිතරම් පලතුරු අපිට තියනවාද?
මාළු පරිභෝජනයේදී
අපි මස් වලට එතරමි හුරුවෙලා නොසිටියාට මිරිදිය මාළු වර්ග වන ලූලා, කාවයියා, හුංගා, මඟුරා, පෙතියා, ආදා වගේ මාළු වර්ග ආහාරයට ගෙන තිබෙනවා. මුහුදුකරේ අය මුහුදු මාළු ආහාරයට ගෙන තිබෙනවා. ඉතින් මේවා දිහා බැලුවාම අපි කොයිතරම් ලොකු පරාසයක ආහාර රටාවන්ට හුරු වී සිටි ජාතියක්ද කියන එක වැටහෙනවා.
ගෘහිණියන් විවිධ ආහාර පරිභෝජන රටාවකට හුරුවිය යුතුයි
අද ළමයාගේ සිට වැඩිහිටියා දක්වා පරිප්පු, අල, කරවල, බෝංචි වගේ සීමිත ආහාරවලට හුරුවෙලයි ඉන්නේ. මේ නිසා අපිට පෝෂණ ගැටලු රැසකට මුහුණදෙන්න අද සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වයෙන් අපේ රටේ අයට මිදෙන්න හැකි වෙන්නේ ගෘහණියන් විවිධ ආහාර පරිභෝජන රටාවකට හුරු වුණොත් පමණයි. එයින් අපිට දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග වලින් මිදෙන්න හැකියාව ලැබේවි. මේ නිසා මව්වරු විශේෂයෙන් තමන්ගේ ළමයින්ට විවිධ ආහාර ලබාදෙන්නට උත්සාහ කළ යුතුයි.
ඒ වගේම ඒකාකාරී ආහාරවලට හුරුවෙලා ඉන්න වැඩිහිටියන් පවා ලෙඩ රෝග හැදුණාම ආහාර වර්ග හොය හොයා ආහාරයට ගන්න උත්සාහ කරනවා වගේ මෙවැනි ආහාර රටාවන්ට රෝගී වීමට පෙර සිටම හුරු වෙන්න අවශ්‍යයි. මේ නිසා පාසල් ළමුන්ට කැරට්, බීට්, අල වලින් තොර අනෙක් ආහාර වර්ග ගැන දැනුමක් ලබාදෙන්න දැන් පියවර ගෙන තිබෙනවා. එයිනුත් බලාපොරොත්තු වී තිබෙන්නේ අපි හුරුවෙලා ඉන්න ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd