ලොව බලවත්ම පුද්ගලයන් පිළිබඳ වර්ෂයක් වර්ෂයක් පාසා ලැයිස්තු සටහන් කරන TIME සඟරාව 2016 වර්ෂයේ ලොව බලවත්ම පුද්ගලයන් පිළිබඳ තම වාර්තාව එළිදක්වනු ලැබුවා. එහි සඳහන් වූ නම් අතර ඉහළින්ම වූ කාන්තා චරිත පිළිබඳ මෙලෙස කෙටි සටහනක් තබන්නට අප අදහස් කළා.
අඩෙලේ ලොරී බ්ලූ ඇඩ්කින්ස් (Adele Laurie Blue Adkins)
එංගලන්ත ගායිකාවක මෙන්ම ගීත රචිකාවියක වන අඩෙලේ 1988 වර්ෂයේ මැයි 5 වැනි දින උපත ලැබූ 27 හැවිරිදි වියේ පසුවන තරුණියකි. ඇය බ්‍රිතාන්‍ය රංග කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර, 2006 වර්ෂයේ ඇය සංගීත දිවියට ප්රවිශ්ට වී තිබේ. එතැන් පටන් සම්මානයට පාත්‍ර වන ඇය ග්රැමි සම්මාන , ඇකඩමි සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන ඇත.
බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ මුල් ස්ථාන අතර ස්වකීය ගීත 3ක් රැඳවූ පළමු ගායිකාව බවට පත්වෙමින්ද ස්වකීය ගීත ඇල්බම 2ක් බිල්බෝර්ඩ් දර්ශකයේ මුල් ස්ථාන පහ අතරට ගෙන ගිය පළමු ගායිකාව බවට පත්වෙමින්ද ගීනස් වාර්තා අතරට ඇය එක්වූවාය. ඇයගේ 21 හා 25 නමින් නිකුත් වූ ගීත ඇල්බම් එංගලන්තය හා ඇමෙරිකාව තුළ ආදායම් වාර්තා බිද දැමූ අතර, ඇගේ නවතම ගීතය වන hello ඇමෙරිකාව තුළ එළිදක්වා සතියක් ඇතුළත ඩිජිටල් පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අලෙවි වූ ගීතය ලෙස වාර්තා පොතට එක්විය.
2012 ,2011 වර්ෂයන්හී වසරේ තරුව බවට බිල්බෝර්ඩ් මගින් ඇයව නම්කර ඇති අතර, VH1 මගින් ඇය සංගීත ක්ෂේත්රයේ විශිෂ්ටතම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ 5 වෙනි තැනට නම්කර ඇත. ලොව වැඩිම ගීත පිටපත් සංඛ්‍යාවක් අලෙවි කරන ගායකයන් අතර ඉහළම ස්ථානයක රැඳී සිටින ඇය 2012 වර්ෂයේ මෙන්ම 2016 වර්ෂයේද ලොව බලවතුන්ගේ ලැයිස්තුව අතරට එක්වූවාය.
අවුන්ග් සාන් සූ කී (Aung san suu kyi)
මියෙන්මාරයේ රාජ්‍ය උපදේශිකාව තනතුර දරන සු කී 1945 ජූනි 19 වැනි දින උපත ලබා ඇත. මියෙන්මාර ජනාධිපතිවරණයෙන් ජයගත්තද ඇගේ ස්වාමිපුරුෂයා හා දරුවන් විදේශ පුරවැසියන් හේතුවෙන් ඇයට එම තනතුර අහිමි විය. පසුව රටක අග්‍රාමාත්‍ය ධුරයට සමාන බලතල ඇති තනතුරක් ලෙස නිර්මාණය කළ රාජ්‍ය උපදේශක ධුරයකින් ඇය පිදුම් ලබා තිබේ. මියෙන් මාරයේ ප්‍රථම කාන්තා විදේශ අමාත්‍යවරිය ලෙසද කටයුතු කළ ඇය දිල්ලි සරසවියෙන් හා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධි හදාරා ඇත. වසර ගණනාවක් නිවාස අඩස්සියේ ගත කළ සූ කී ගේ දේශපාලන සිරකරුවකු ලෙස ලොව වැඩි අවධානය දිනාගත් චරිතයක් බවට පත්වූවාය. නොබෙල් සාම ත්‍යගය ඇතුළු ප්රමුඛ පෙළේ සම්මාන රැසකට උරුමකම් කියන ඇය කිහිපවරක්ම ලොව බලගතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ තම නම සටහන් කළාය.
ප්‍රියංකා චොප්රා (Priyanka Chopra)
2000 වර්ෂයේ ලෝක රූ රැජින කිරුළ දැරූ ප්‍රියංකා ඉන් බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්රයට ඇතුළු වූවාය.1982 වර්ෂයේ ජූනි 18 වැනි දින උපත ලබා ඇති ඇය නිළියක, ගායිකාවක, නිෂ්පාදිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන ඇය චිත්‍රපට දිවියේ සම්මාන රැසක් දිනා ඇති අතරම ඉන්දීය රජය මගින් ශ්‍රේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පිරිනමන පත්ම ශ්‍රී සම්මානයද දිනාගත්තාය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් හඬනගන ඇය ප්‍රථමවරට මෙම වසරේදී ලොව බලගතුම පුද්ගලයන් ලැයිස්තුවට එක් වූවාය.
හිලරි ක්ලින්ටන් (Hillary Clinton)
ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ වන හිලරි 1947 ඔක්තෝම්බර් 26 වැනි දින උපත ලබා ඇත. නිතීඥවරියක වන ඇය වත්මන් ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ පාලන කාලය තුළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරය දැරීය. ඇමරිකාවේ මීළඟ ජනාධිපති ධුරය සඳහා පැවැත්වෙන මැතිවරණ සටනේ තරග වදින අතර, කිහිපවරක් ලොව බලගතු පුද්ගලයන් ලැයිස්තුවේ තම නම සටහන් කර ඇත.
නිකී හාලේ (Nikki Haley)
ඇමරිකාවේ දකුණු කැරොලිනා හි 116 වැනි ආණ්ඩුකාරවරිය බවට පත්වූ ඇය 1972 ජනවාරි 20 වැනි දින උපත ලබා ඇත. දකුණු කැරොලිනාවේ ආණ්ඩුකාර ධුරයට පත් පළමු කාන්තාව වන ඇය ඉන්දියානු සම්භවයක් සහිත ඇමරිකානු ජාතිකයෙකි. 2019 වර්ෂය දක්වා ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය දරන ඇය මේ වසරේ ලොව බලගතුම පුද්ගලයන් අතරට එක් වී ඇත.
කේට්ලින් ජෙනර් (Caitlyn Jenner)
ඔලිම්පික් පදක්කම්ලාභියෙකු වන බ_ස් ජෙනර් ලිංග විපර්යාස සැත්කමකින් පසු කාන්තාවක ලෙස ලෝකය හමුවේ පෙනී සිටින අතර, සැත්කමෙන් පසු ඔහු කේට්ලින් ජෙනර් නමින් පෙනී සිටියි. හොලිවුඩයේ රියලිටි කතා මාලාවක් වන Keeping Up With Kardashians හරහා ජනප්‍රිය වී ඇති කේට්ලින් ජෙනර් සතු වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් බවට 2014 වර්ෂයේ ගණන් බලා තිබිණ. ඇය ලොව වඩාත් ප්‍රසිද්ධියට පත් ලිංග විපර්යාසයට ලක්වූ තැනැත්තිය ලෙස නම්කර ඇති අතර, 2016 වසරේ ලොව බලගතුම පුද්ගල ලැයිස්තුවට එක්කර ඇත.
කැත්ලීන් කෙනෙඩි (Kathleen Kennedy)
ඇමෙරිකානු චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඇය 1953 වසරේ ජූනි 5 වැනි දින කැලිෆෝනියාවේ උපත ලබා ඇත. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම නිෂ්පාදිකාව ලෙස කටයුතු කළ ඇයගේ චිත්‍රපට 120 වතාවක් ඇමෙරිකානු ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වී ඇත. ජුරාසික් පාර්ක්, ස්ටාර්වොස්, ඇඩ්වෙන්චර් ඔෆ් ටින් ටින් ආදී අප ආදරය කරන චිත්‍රපට ඇගේ නිෂ්පාදන අතර වේ.
ක්‍රිස්ටීන් ලේගාඩ් (Christine Lagarde)
ප්‍රංශ නීතීඥවරියක වන ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ධුරය හොබවයි. 1956 ජනවාරි පළමු දින පැරීසියේදී උපත ලබා ඇති ඇය කිහිප වරක්ම ලොව බලගතුම පුද්ගලයන් ලැයිස්තුවේ තම නාමය රැඳවූ තැනැත්තියකි.
ජූලියා ලුවිස් (Julia Louis)
ඇමෙරිකානු චිත්‍රපට නිළියක මෙන්ම විකට වැඩසටහන් නිවේදිකාවක වන ජූලියා 1961 වසරේ ජනවාරි 13 වැනි දින නිව්යෝර්ක් හි උපත ලබා ඇත. ගෝල්ඩන් ග්ලෝබ්, එමි ආදී සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇත.
ඇන්ජෙලා මර්කෙල් (Angela Merkel)
ජර්මනියේ මාන්සලර්වරිය ලෙස 2005 වර්ෂයේ සිට කටයුතු කරන ඇන්ජෙලා 1954 ජූලි 17 වැනි දින උපත ලබා ඇත. G7 සමුළුවේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වන ඇය ලොව බලගතුම පුද්ගලයන් ලැයිස්තුවට නව වරක් තම නම සටහන් කර ඇත.
නිකී මිනාජ් ( Nicki Minaj)
ඔනිකා ටන්යා මරාජ් නමින් 1982 දෙසැම්බර් 8 වැනි දින උපත ලැබූ ඇය සංගීත දිවියට පිවිසෙන්නේ නිකී මිනාජ් යන අන්වර්ථ නාමයෙනි. රැප් ගායන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය සංගීත දිවියේ සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. මෙවර ඇයද ලොව බලගතුම පුද්ගලයන් අතරට පැමිණ ඇත.
ප්‍රිසිලා චෑන් (Priscilla Chan)
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ බිරිඳ වන ප්‍රිසිලා චෑන් 1985 වර්ෂයේ පෙබරවාරි 24 වැනි දින උපත ලබා ඇත. සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරන ඇය 2016 වසරේ ලොව බලගතුම පුද්ගලයන් අතරට එක්වූ තවත් එක් කාන්තා චරිතයකි.