තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.
අනුරාධපුර යුගයේ මුල් අවදියේ සිට අග භාගය දක්වා විහිදෙන පෞරාණික උරුමයකට හිමිකම් කියන තන්තිරිමලය, සඟමිත් මහරහත් තෙරණින්ගේ පා පහස ලත්, සිරිමා බෝ සමිඳු එක් රැයක් වඩා හිඳුවාලූ ඓතිහාසික පුද බිමකි.
ප්රාග්ඓතිහාසික සිතුවම්, මහ රහතන් වහන්සේලා පරිහරණය කළ ස්වාභාවිකව නිර්මාණය වූ විශාල ජල පොකුණු, සෙල් පිළිම, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක රැසකින් සමන්විත අක්කර 250ක මහා කළු ගල් තලාව පුරා විහිදෙන තන්තිරිමලේ පුද බිම ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික උරුමයකි.මහ කළු ගල් තලාව මුදුනේ විශ්මිත ලෙස වැඩ හිඳින අෂ්ඨමහාඵල බෝධීන් වහන්සේ මේ පුද බිමේ ආගමික වැදගත්කම මැනවින් කියා පායි. කළු ගලක් මුදුනේ මහ නියං සමයන්හි දී පවා කිසිදු උපද්‍රවයකින් තොරව අෂ්ඨඵල බෝධීන්වහන්සේ වැඩ හිඳීම ආශ්චර්යයක් බව බොහෝ අය පවසති. එපමණක් නොව තන්තිරිමලේ පුද බිම අලංකාරවත් කෙරෙන මහ කළු ගල් තලාව ස්වභාවධර්මයාගේ අපූරු නිර්මාණයකි.
තන්තිරිමලය නම හැදුනු ආකාරය පිළිබඳව පවත්නා ජනප්‍රවාද රැසකින් අතරින් සාලිය අශෝකමාලා පුවත විශේෂත්වයක් ගනියි. සැඬොල් කුමරියක වූ අශෝක මාලාවන්ට මනාප වූ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු රජවාසලට නොදන්වා ඇය හා කාලය ගත කළේය. පසු කාලයේ දුටුගැමුණු රජතුමා ඔවුන් දෙදෙනා රජ මාළිගයට කැඳවා එතෙක් තිබූ විරසකය අමතක කර අශෝක මාලාවන්ට වටිනා රන්මාලයක් තෑගි කළ බවත්, 'තන්තිරි' නමින් හැඳින්වූ සමනළුන් වර්ගයක හැඩයට සමාන මෙම මාලය ගල්තලාවේ නිධන් කර ඇති නිසා 'තන්තිරිමාලය' පසුව තන්තිරිමලය ලෙසට විවාහාර වූ බව ජනප්රවාදයේ සඳහන් වේ.
රිටිගල කන්දෙන් ආරම්භ වන කදම්භ නදිය හෙවත් මල්වතුඔය අනුරාධපුර පූජා නගරය මැදින් ගලා ගොස් කනදරාඔය හමුවන තෙක් උතුරු දිසා ගතව ගලා බැස, ඉන් අනතුරුව වයඹ දිසා ගතව ගලා බැසීම නිසා නිර්මාණය වී තිබෙන තැනි තලා භූමියේ උස් ගල් තලාව මධ්‍යයේ ඓතිහාසික තන්තිරිමලේ පුද බිම පිහිටා තිබේ. ඉන් ඔබ්බට බටහිර දෙසින් ඇත්තේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයයි.
ඓතිහාසික තොරතුරු අනුව සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට ලක්දිවට වැඩම කරවූ දෙවැනි පෑතිස් රජුගේ පාලන සමයේ තන්තිරිමලය හඳුන්වනු ලැබ ඇත්තේ ‘‘තිවක්ක බමුණුගම’’ ලෙසිනි, සඟමිත් මහරත් තෙරණිය දඹදිව සිට ජය සිරි මහා බෝ අංකුරය වැඩමවා ගෙන ලක්දිවට පැමිණි ඓතිහාසික ගමනේ දී දඹකොළ පටුනේ දී නැවෙන් ගොඩ බැස, පෙරහරින් උත්සවශ්‍රීයෙන් අනුරාධපුරයට පැමිණෙද්දී තන්තිරිමලේ පුද බිම පිහිටි සුවිශාල ගල් තලාව මත නැවතී රැයක් පහන් කළ බව එම ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.
එම අවදියේ වර්තමානයේ තන්තිරිමලේ ලෙස හඳුන්වන මේ ප්‍රදේශය පාලනය කර ඇත්තේ දෙවැනි පෑතිස් රජුගේ හිතෛෂිවන්තයෙකු වූ තිවක්ක නම් බුමුණු තෙමේ විසිනි. එබැවින් එදා එම ප්‍රදේශය තිවක්ක බමුණුගම ලෙස හැඳින්විණි.තන්තිරිමලේ මහ ගල් තලාව මත රෝපණය කර තිබෙන අෂ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ පිළිබඳව ජනප්රවාදයේ පවතින්නේ මෙැවනි කථාවකි.
”සඟමිත් මහ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගෙන ආ ජය සිරි මහාබෝ අංකුරය අනුරාධපුරවරයේ මහමෙව්නා උයනේ උඩ මළුවේ දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් රෝපණය කරවන ලද අවස්ථාවේ ආශ්චර්යයක් ලෙසින් සිරිමා බෝ සමිඳුන්ගෙන් අංකුර අටක් පැන නැගී තිබිණ. ඉන් එක් බෝ අංකුරයක් දෙවැනි පෑතිස් මහ රජතුමන් විසින් තම හිතෛෂිවන්ත තිවක්ක බමුණු තෙමේට ප්රදානය කර තිබිණ. ඒ, සිරිමා බෝ සමිඳුන්වහන්සේ දඹකොළ පටුනේ සිට වැඩමවා ගෙන අනුරාධපුරවරයට පෙරහරින් එන ගමනේ දී සඟමිත් මහරහත් තෙරණිය සහ සහපිරිවරත්, දෙවැනි පෑතිස් රජතුමන් ඇතුළු පිරිසත් තිවක්ක බමුණුගම දී මහත් හරසරින් පිළිගෙන මහ ගල් තලාව මත රැයක් පහන් කිරීමට පහසුකම් සලසා දී දැක්වූ ගරු සැලකිලි වෙනුවෙන් තිවක්ක බමුණු තෙමේට කෘතවේදීත්වය පළ කිරීම උදෙසායි.
බමුණු තෙමේ ද රජුගෙන් තමන්ට ලැබුණු බෝ අංකුරය මහත් හරසරින් පිළිගෙන පෙරහරින් තිවක්ක බමුණුගමට වැඩම කරවා කලින් අවස්ථාවේ සිරිමා බෝධීන් වහන්සේ රැයක් පහන් වන තුරු වැඩ සිටුවා තැබූ ගල් තලාව මත්තෙහිම බෝධි ප්රාකාරයක් තනවා එතැන රෝපණය කරන ලදී. අදත් ඇතතේ එදා ඒ රෝපණය කෙරුනු අෂ්ඨ මහාඵල බෝධීන් වහන්සේ බවට ජනතාව අතර විශ්වාසයක් පවතී.”
තන්තිරිමලය පුද බිමක් බවට පත් වන්නේ ඉන් අනතුරුව බවත් මහ රහතන්වහන්සේලා මේ පිං බිමේ භාවනානුයෝගීව වැඩ විසූ බවත් ඉතිහාසයේ සඳහන් වන අතර, අදත් මේ පින්බිමේ දක්නට ඉතිරිව තිබෙන නටඹුන් ඊට සාක්ෂි දරයි.
අෂ්ඨමහා පල බෝධීන් වහන්සේ වැඩ වසන මහ ගල් තලාවේ නැගෙනහිර බෑවුමේ නටඹුන්ව තිබෙන පබානසර භාවනායෝගී මහරහතන් වහන්සේලා මේ පිංබිමේ වැඩ විසූ බව සනාථ වන හොඳම සාක්ෂියයි. උන්වහන්සේලා පරිහරණය කළ කළු ගලින් නිමැවූ පොත් ගුල, ස්නානය කළ නෙළුම් මලින් පිරුණු ජල පොකුණ අදත් මේ පිංබිමේ දී දැකගත හැක.
බෝධීන් වහන්සේ වැඩ වසන ගල් තලාවට පහළින් ඒ ආසන්නයේ දකුණු පැත්තෙහි ගල් කුලෙහි නෙළා තිබෙන සමාධි පිළිමය අඩි අටක පමණ උසින් යුක්තය. පිහිටි කළු ගල හාරා මතු කොට සැකසූ මෙය අර්ධ උන්නතව නෙලා ඇති නිර්මාණයකි. සිවුර සිරුරටම ඇලුනු ස්වභාවයෙන් මෙම පිළිමය නෙලා ඇත
සමාධි පිළිමය දෙපසින් වාමනධාරී දෙවිවරුන් නිරූපනය කර තිබේ. පිළිමයේ පසුපසින් අපූරු මකර තොරණක් නිර්මාණය කර ඇත්තේ එහි බර උසුලන ආකාරය දැක්වෙන සිංහ රූප දෙකක් ද සමගිනි.මෙම සමාධි පිළිමය අව්වෙන්, වැස්සෙන්, සුළගින් ආරක්ෂා කිරීම සඳහා පියස්සක් ඉදි කර තිබූ බවත් පෙනෙන්ට තිබේ. එහි සුවිශාල දොරටුවෙහි උළුවහු හා කුළුණු නිමවා ඇත්තේ කළු ගලෙනි. බොරදම් කැටයම්වලින් එම උළුවහු හා කුළුණු අලංකාරවත් කර තිබේ.
අෂ්ඨ මහාඵල බෝධීන්වහන්සේ වැඩ වසන මහ ගල් තලාවෙහි උතුරු බෑවුමේ පිහිටි කළු ගලෙන් මතු කර නෙලා තිබෙන අඩි 45ක් දිගින් යුතු සැතපෙන පිළිමය අනුරාධපුර යුගයේ විසූ අපේ පුරාණ ගල් කැටයම්කරුවන්ගේ කුසලතාවන් පිළිබිඹු කෙරෙන අපූරු නිර්මාණයකි.
මීට සියවස් දෙකකට පෙර නිධන් හොරුන් විසින් විනාශ කර තිබූ මෙම සැතපෙන පිළිමයේ ශීර්ෂය ඇතුළු කොටස් පුරාවිද්‍යාඥයින්ගේ උපදෙස් මත මීට පෙර සංරක්ෂණය කෙරිණි.
මහ ගල් තලාව මත කිරි බුබුලක් සේ දිස්වෙන මනරම් චෛත්‍යය ඉදි කර ඇත්තේ පුරාණයේ චෛත්‍ය ඉදි කර තිබුණු ස්ථානයේම බව පැවසේ. ඊට අමතරව මෑත භාගයේ ඉදි කෙරුණු විහාර මන්දිරයෙන් ද මෙම පිංබිමේ අලංකාරය තව තවත් වැඩි වෙයි.
ගල් තලාවේ නැගෙනහිර දිසාවේ චතුරස්රාකාර ඉස්මාරකය 'පොත් ගුල' ලෙස හඳුනාගෙන ඇත. අලංකාර ලෙස කළුගල් කුට්ටි තබා සියලුම බිත්ති බැඳ ඇත. එක් බිත්තියක දොරටුවකි. වහලද කළු ගලින්ම නිමවා ඇත. මෙහි සෑම ගලකම කි.ව.8වැනි සියවසට අයත් අක්ෂර ඇත. ඒ කාලයේ වටිනා පුස්කොළ පොත් මෙහි තිබී ඇත.
ජලය රැස්කිරීමට ගල්තලාවේ තැන් තැන්වල අලංකාර ලෙස තැනූ පොකුණු දක්නට ලැබේ. මෙම පොකුණු විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී.නෙළුම් මල් වලින් සැරසුණු එවැනි පොකුණු අද ද දක්නට ලැබේ. නෙළුම් පොකුණ ආශ්‍රිතව වනාන්තරය ලංකාවට ආවේණික සංචාරක පක්ෂීන්ගේ වාසස්ථානයකි.
පොත් ගුල ඇති ගල් පර්වතයේ සිට කැලෑ මැදින් ටික දුරක් ගිය විට මෙහි එක් එක් ප්‍රමාණයේ ගල්ලෙන් 5ක් දක්නට ඇත. මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට එහි ඇති කටාරම් සාක්ෂි දරයි.
ප්රාග් ඓතිහාසික යුගයට අයත් චිත්‍ර විශාලතම ගල්ලෙන තුල දැකිය හැකි ලෝකයේ හා ලංකාවේ ඉතාමත් අයිතිවාසික වටිනාකමකින් යුත් මෙම දුර්ලභ සිතුවම් වසර 4000ක් පමණ පැරණි විය යුතු යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වා ඇත.
වැදි චිත්‍ර ලෙසින් නම් කර ඇති මෙම සිතුවම්, ප්‍රාථමික යුගයේ ජීවත් වූ ආදි වාසි ජනතාව විවේක කාලයේදී නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ශාක පත්‍ර යුෂ, පාට ගල් වර්ග, අල, අඟුරු, සත්ව ලේ මිශ්‍ර කරගත් සාදාගත් සායම් වලින් මෙම නිර්මාණය කර ඇති බවට විශ්වාස කෙරේ.
සතුන්, ඉර හඳ, තාරකා, දුනු, ඊතල, මෙම චිත්‍ර අතර වේ.
භික්ෂූන් වහන්සේලා උදෙසා කළ පූජාවන් හා නොයෙක් වැදගත් තොරතුරු දැක්වෙන කිස්තු පූර්ව 8වැනි සියවසේ දක්වා වූ දීර්ඝ කාලයකට අයත් ශිලා ලේඛන ද මෙහි පිහිටුවා තිබේ. ගල්ලෙන් බෝමළුවේ ගල් පුවරු මත, පොත් ගුලේ ගල් කැබලි මත, පොකුණු හා ගල් කැටයම් වල මෙහි එක් එක් යුගවල ශිලා ලේඛන දක්නට ලැබේ.
රජ දවසින් පසුව වල් බිහිවී ගිය තන්තිරිමලයට 1960 වර්ෂයේදී කුඩා කෝංගස්කඩ විමල ඥාන හිමියන් වයස අවුරුදු 20දී මැදවච්චියේ සිට වැඩම කළහ.
වන සතුන්ගෙන් ගහණ වූ වනාන්තරය මැදින් විල්පත්තු බටහිර මායිමේ පිහිටි තන්තිරිමලයට පැමිණි උන්වහන්සේට හරි හැටි දානයක්වත් දීමට දායකයෙක් නොවීය. එහෙත් අද තන්තිරිමලය ජනාවාසයකි. රජ කාලයෙන් පසු තන්තිරිමලය පුදබිමක් කර වැව් අමුණු බඳවා ගොවියන් පදිංචි කරවා පාසල් හා කඩමණ්ඩි තනවා වත්මන් දියුණු ඇති කිරීමට උන්වහන්සේ පුරෝගාමී වූහ.
1983 වසරේ පමණ වන විට තන්තිරිමලය සහ මහවිලච්චිය ප්‍රදේශය කොටි ත්‍රස්තවාදින්ගේ රජ දහනක් වූ අතර ගම්මාන වලට කඩා වැදුණු කොටි ත්රස්තවාදීන් නිරායුද සිවිල් වැසියන් මරා දැමූහ. තවත් පිරිසක් පැහැර ගෙන ගියහ.මෙම අවධියේදී ඓතිහාසික තන්තිරිමලේ බෝධිය වටා සන්නද්ධ හමුදාව බංකර් ඉදි කලහ.
ඩේසිල් කොබ්බෑකඩුව විජය විමලරත්න වැනි හමුදා සේනාධිපතිවරු මේ පුදබිම රැක බලා ගැනීමට ඉමහත් වෙහෙසක් ගත්හ. 1992 වර්ෂයේ ජූලි 21 වන දින කුඩාකෝන්ගස්කඩ විමල ඥාන හිමියන් මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයකට ලක්ව අපවත් වූහ.
1975 වර්ෂයේදී විහාරස්ථානයට පැමිණි වර්තමාන විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමි , විසින් අපවත් වූ විමල ඥාන හිමියන්ගෙන් සිදුවූ සේවය නොකඩවාම අඩුවකින් තොරව ඉදිරියට ගෙනයමින් සිටිති.
ඓතිහාසික තන්තිරිමලය පුදබිම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.අනුරාධපුර නගරයේ සිට ලෝලුගස්වැව සිට ඔයාමඩුව හරහා කිලෝ මීටර් 45 ක් ගිය විට හමුවේ. වර්තමානයේදී නොචියාගම දෙස සිට පැමිණෙන විට රනෝරාව හරහාද උතුරින් පැමිණෙන විට මන්නාරම මාර්ගයේ ද තන්තිරි මලේ පුදබිමට පැමිණිය හැක
ඓතිහාසික තන්තිරිමලේ පුදබිමට වරක් පැමිණි අයෙක් තවත් වරක් හෝ පැමිණෙන්නේ මේ පිංබිම ආගමික අතින් මෙන්ම ඓතිහාසික අතින් ද පාරිසරික අතින් ද ඉතා වැදගත් බැවිනි.
(මෙම ලිපියේ ඇතැම් කොටස්, තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් රචිත තන්තිරිමලේ නම් කෘතිය ඇසුරිනි.)







