පොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට 24 අලුයම පිඹුරත්තෑව ප්‍රදේශයෙන් වැටි සිටි වන අලියෙකු ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු පිඹුරත්තෑව වනජීවී නිලධාරීන් විසින් අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන එම අලියා වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
බීමට ජලය සොයා පැමිණි එම වන අලියා ගොඩට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලියාගේ වයස අවුරුදු හතළිහක් පමණ වන බව පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂක,එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට බීමට ජලය සොයා පැමිණීමේදී එම අලියා ඉසඩ්.ඩී ප්‍රධාන ඇළට වැටී ඇති බවට සැක කරන බවද ඒ මහතා කීය.
ඉසැඩ්.ඩී ඇළට වැටුණු වන අලියා කොන්ක්‍රීට් බෝක්කු අතරින් අවස්ථා කිහිපයකදීම වැටුණු ඇති අතර ගොඩගත් එම අලියාගේ ශරීරයේ වෙඩි වැදුනු දකුණු කීපයක් දක්නට තිබුණු බවද වනජීවී නිලධාරීන් සඳහන් කළහ.
මීට පෙර අවස්ථා කීහිපයකදීම වසර ගණනාවක් ඉසැඩ්.ඩී. ප්‍රධාන ඇළට වන අලි වැටී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ඇති අතර, එම වන අලි ගොඩ ගැනීමට වනජීවි නිලධාරීන්ට කාලය, ධනය, ශ්‍රමය, විශාල වශයෙන් වැය කිරීමට සිදුවන බවද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
වන අලි වැටීමෙන් පසු එම කොන්ක්‍රීට් ඇලෙන් අලින්ට ගොඩ යෑම සඳහා කොන්ක්‍රීට් පඩිපෙළ සකසන්නේ නම් වනජීවී නිලධාරීන්ට ඉතාමත් පහසුවක් වනවා සේම වන අලින්ටද එමඟින් සිදුවන හානි අවම වන බවත් වන අලින්ට ඉතා ඉක්මනින් ගොඩේ යෑමේ හැකියාව තිබෙන බවද ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ විවිධ සිවිල් ක්‍රියාකාරීන් පවසති.
මනම්පිටිය නිමල් ජයරත්න






