මොනරාගල බඩ ඉරිඟු වගාවෙන් සරු අස්වැන්නක්
මොනරාගල දිස්ත්‍රික්කයේ 2025 මහ කන්නයේ බඩ ඉරිඟු වගාවෙන් සරු අස්වැන්නක් ලැබී ඇතැයි ගොවීහු පවසති. බුත්තල, මොනරාගල, සියඹලාණ්ඩුව යන ප්‍රදේශ වල බහුල වශයෙන් බඩ ඉරිඟු වගා කෙරෙන අතර මේ දින වල එහි අස්වනු නෙළීමද සිදුකෙරේ. නෙළා ගත් අස්වැන්න එම ප්‍රදේශ වල කාපට් මාර්ග වල වියලන අයුරු මේ දින වල දක්නට ලැබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එස්.එම් සන්ධ්‍යා උදයංගනී මහත්මිය,
"මොනරාගල දිස්ත්‍රික්කය තුළ හෙක්ටයාර් දහඅට දහසක පමණ පසුගිය මහ කන්නයේ බඩ ඉරිඟු වගා කර තිබෙනවා.මේ දින වල එහි අස්වැන්න නෙළෙමින් පවතිනවා.ඔවුන්ට අවශ්‍ය පොහොර සහ බීජ,සහනාධාර මුදලට දෙපාර්තුමේන්තුව මඟින් ලබා දුන්නා.
රජය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 150 බව ප්‍රකාශයට පත් කළා. නමුත් ඇතැම් පෞද්ගලික වෙළෙඳුන් ඊට අඩුවෙන් බඩ ඉරිඟු මිලදී ගන්නා බව ගොවීන් පවසනවා.මේ දින වල ඇතැම් ප්‍රදේශ වලට කඩින් කඩ පවතින වැස්ස නිසා බඩ ඉරිඟු වේලා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා. සාමාන්‍යයෙන් බඩ ඉරිඟු හෙක්ටයාරයකින් ඇට මෙට්‍රික් ටොන් 05.5 පමණ ලබාගත හැකියි.
ගොවීන් පවසන්නේ තමන්ගේ බඩ ඉරිඟු කිලෝවකට ලැබෙන්නේ රුපියල් සියයත් එකසිය තිහත් අතර මුදලක් බවයි.රජය මැදිහත් වී තමන්ගේ බඩ ඉරිඟු කිලෝව රුපියල් 150 මිලදී ගැනීමට කටයුතු යොදන ලෙස ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති."
මොණරාගල සුමනසිරි ගුණතිලක




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
