වාහන 30 කට වැඩි ගණනක් අයාලේ විනාශ වීමට අතහැර දමලා
සේවකයින් සිටියත් කාර්යභාරයක් නෑ
මහවැලියේ තවත් සුදු අලියෙක්
ආයතනය ගොඩගන්න පුලුවන්දැයි බැලීමට නියෝජ්‍ය ඇමති එහි යයි
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු විශාලතම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා ඒකකය වල්වැදී විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. මහවැලියේ ප්‍රමුඛතම කලාපය ලෙස සැලකෙන මහවැලි එච් කලාපයේ තඹුත්තේගම නගරය ආසන්නයේ මෙම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා ඒකකය පිහිටා තිබේ. මහවැලිය සතු වටිනා සම්පතක් වන මෙම වැඩපොල ඉබේ වැසී යාමට ඉඩහැර ඇතැයි නගරවාසීහු පවසති. භාවිතයට ගතහැකි, අලුත්වැඩියා කිරීම ප්‍රමාද වී ඇති හෝ වෙන්දේසි කළයුතු විවිධ පන්නයේ වාහන 30 කට වැඩි ප්‍රමාණයක් මෙසේ වැඩපොල භූමිය පුරා අතහැර දමා ඇති බව ඔවුහු පවසති.
එම බොහෝ වාහන අයාලේ අතහැර දැමීමෙන් මේ වන විටත් මළකා, දුර්වර්ණව විනාශ වී තිබේ. වෑන්, කැබ්, කාර්, ට්‍රපර්, කැන්ටර්, ජිප්, ලොරි, ට්‍රැක්ටර් ආදි රථ වාහන ගණනාවක් ඒ අතර වන බව සදහන්වේ. වැව් ආශ්‍රිතව වැවෙන ජපන් ජබර, සැල්වීනියා ආදි ජලජ ශාක ඉවත් කිරීමට භාවිතයට ගැනෙන බව පැවසෙන මිලියන 60 කට වැඩි වටිනාකමකින් යුතු යන්ත්‍රයක් ද ඉකුත් සමයේ මෙහි ගෙනවිත් දමා ඇති අන්දම දැකගත හැකිය. අයාලේ අතහැර දමා ඇති එම යන්ත්‍රය ද අව්නෙක්, වැස්සෙන් පීඩා විදිමින් මේ වන විට මුළුමනින්ම විනාශ වීමේ අවධානමට ලක්ව තිබේ. මෙහි සේවක පිරිසක්ද ඇතත් ඔවුනගෙන් සිදුවන සේවය ඉතා අල්ප වී ඇතැයි කියැවේ.
ඉකුත්දා මෙම ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක්ව ඇති ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා මෙහි ඇති අලුත්වැඩියා කළ හැකි වාහන අලුත්වැඩියා කිරීමටත්, එසේ කළ නොහැකි වාහන ඉවත් කිරීමටත් එහි සේවකයින්ට අවශ්‍ය උපදෙස් දී ඇතැයි සදහන්වේ. මෙම ආයතනය කලාපයේ රාජ්‍ය ආයතනවල වාහන සේවා කිරීමේ සහ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කළ හැකි බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී තිබේ. එමෙන්ම ප්‍රදේශයේ තරුණ, තරුණියන් සදහා වෘත්තිය පුහුණුව ලබාදෙන මධ්‍යස්ථානයක් බවට මෙම ආයතනය පත්කිරීමේ හැකියාව පිළිබදව අවධානය යොමුව ඇතැයි ද ඔහු එහිදී පවසා ඇත.
1976 වර්ෂයේ ජනවාරි මස අටවන දින දී එවක මෙරට අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් මහවැලි ව්‍යාපාරයේ පළමු වෑයම ලෙස පොල්ගොල්ල වේල්ල විවෘත කරනු ලැබීය. එහි දියවර කි.ව. 455 - 473 වකවානුවේ ධාතුසේන රජදවස ඉදිව ඇති කලාවැව තෙක් ගලා ආයේ මහවැලි ව්‍යාපාරයේ ආරම්භය සනිටුවහන් කරමිනි. එමගින් ඇරඹුණු සප්ත කලාපීය මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් රටෙහි සංවර්ධන ක්‍රියාවලිය නව මානයකට ගෙන ගියේය.
එහි කෘෂිකාර්මික සහ පශු සම්පත් ව්‍යාපෘති මගින් ජාතික ආර්ථිකයට ඉහල දායකත්වයක් සැපයීම ඉලක්ක කෙරිණි. විදුලි බල කේෂත්රයේ නව පුනරුදයකට ඉන් මග පෑදිනි. කලාව, සාහිත්‍ය, ක්‍රීඩාව ආදි විෂය කේෂත්‍රයන්හි ප්‍රගමණය සදහාද මහවැලි ව්‍යාපාරය ඉවහල් විය.එහෙත් මෑතකාලීනව කලාවැවේ දොරවල් ඇරීමට සහ වැසීමට පමණක් මහහවැලියේ කාර්ය සීමාවී තිබිණි.
ඒ අනුව එවැනි කටයුත්තක් සදහා පමණක් සුවිශාල සේවක පිරිසක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් නොවන බවට කරුණු සාකච්ඡා වෙමින් තිබිණි. දුෂණ, වංචා සහ අකාරක්ෂමතාවය මෙන්ම කාලීනව අවශ්‍යතාවක් නොවීම පාදක කොටගෙන මහවැලිය වසා දැමීමේ තීන්දුවක් ද ඉකුත් රජය මගින් ගනු ලැබු බවද කියැවිණි.
එයට සාතිශය බුහතරයක් වු ගොවි ජනතාවගේ විරෝධයක් තිබුනේ ද නැත. මේ සියලු පව් සමග මහවැලිය නැවත යතාවත් කිරීම ඉතා දුෂ්කර වී තිබේ. එහෙත් ඒ පවට කරගැසීමට තරම් වත්මන් ආණ්ඩුව එඩිතර වී ඇත. එය ප්‍රායෝගිකව කොතරම් දුෂ්කර කාර්යක්ද යන්නට මේ වල්වැදී විනාශ වෙමින් ඇති යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා ඒකකය තවත් එක් නිදසුනක් පමණක් බව අවසන සදහන් කළ හැකිව තිබේ.
ප්‍රදීප් රණතුංග









