අද දිනයේ අප පරිශීලනය කරනා පොත් පත්වල තැන, අනාගතය වන විට ඩිජිටල් උපාංගයන් මගින් සම්පූර්ණයෙන්ම අත්පත් කරගනු ඇතැයි යන බිය බොහෝ දෙනෙකු වර්තමානයේදී පවා දක්වා සිටී. එනමුත් ස්මාට්ෆෝන් සහ ටැබ් සෑම අයෙකු අතම ගැවසෙන උපාංග බවට පත්වීත් තවමත් පොත් පත් අභාවයට යන්නේ යැයි කීමට හැකි නොවේ. එසේම ඊ - බුක් රීඩරයන්ද වර්තමානය වන විට සාමාන්‍ය පාරිභෝගික උපාංගයක් බවට පත්වෙමින් තිබෙනා අතර එයද යම්තාක් දුරකට පොත් කියවීමේ පුරුද්ද වැඩි වර්ධනය කිරීමට උපකාරී වේ යැයි සිතීමට හැක.
ශ්‍රී ලංකාවේ තවමත් ඊ - බුක් රීඩරයන් භාවිත කරන්නේ සාපේක්ෂව අතළොස්සක් වන අතර, එම ප්‍රමාණයද මුළුමනින්ම පාහේ ඇමසන් කින්ඩ්ල් උපාංගයන් භාවිත කරන්නේ යැයි අනුමාන කළ හැක. ඇමසන් කින්ඩ්ල් ඊ - බුක් රීඩරයන් දැරිය හැකි මිලකට පැවතීම මෙන්ම, ඒවායේ නිමාව සහ විශේෂයෙන් ලැබෙන පහසුකම් මෙයට එක් හේතුවකි.
කෙසේ නමුත් ඇමසන් කින්ඩ්ල් උපාංගයන් සෑම විටකදීම ලාභදායී නොවන බවද ඇමසන් සමාගම මගින් යළි යළිත් අපට සිහිපත් කර දෙනු ඇත. වඩාත් නිවැරදිව පවසන්නේ නම් තමන් සතුව දැරිය හැකි මිලකට අලෙවි කෙරෙනා සාමාන්‍ය ඊ - බුක් රීඩරයන් මෙන්ම, ඉහළ මිලකට අලෙවි වන වඩාත් විශේෂිත හැකියාවන් සහ නිමාවන්ගෙන් යුක්ත ඉහළ මට්ටමේ ඊ - බුක් රීඩරයන්ද තිබෙන බව ඔවුන් පාරිභෝගිකයින්ට සිහිපත් කර දෙන්නේ, ඔවුන්ගේ ඉහළ මට්ටමේ ඊ - බුක් රීඩරයන් සඳහාද හොඳ වෙළෙඳ පොළක් තිබෙනා බැව් දන්නා නිසාවෙනි. මෙය තහවුරු කෙරෙන එක් එළිදැක්වීමක් වූයේ, පසුගිය වසරේදී වෙළෙඳ පොළට පැමිණි නවතම Amazon Kindle Oasis ඊ - බුක් රීඩරයයි.
මෙය එතෙක් මෙතෙක් ඇමසන් සමාගම මගින් නිකුත් කළ සිහින්ම හැඩයකින් යුක්ත කින්ඩ්ල් උපාංගය වීමත්, වඩාත් පහසුවෙන් අල්ලාගෙන කියැවීමට හැකි ආකාරයේ වෙනස්ම හැඩයක් මේ සඳහා ලබාදී තිබීමත් සමගින් මෙය සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත්ව තිබිණි.මෙම අඟල් 0.13 ක් තරමේ සිහින් නිමාවකින් සහ අවුන්ස 4.7 ක් තරමේ සැහැල්ලු බවකින් යුතු Amazon Kindle Oasis උපාංගය සම්බන්ධයෙන් දැන් අපි කතා කරන්නේ ඇයි? ඊට හේතුව ඇමසන් සමාගම මෙම වසර සඳහාද Kindle Oasis හි නවතම වැඩිදියුණු කළ සංස්කරණයක් එළිදක්වා තිබීම නිසායි. මෙය ජලයට සහ තෙතමනයට ප්‍රතිරෝධය දක්වන ඇමසන් කින්ඩ්ල් උපාංගයකි.
ජලයෙන් හානි නොවනා බවට IPX8 සහතිකයද සමගින් නිකුත් වන මෙම ඉහළ මට්ටමේ ඇමසන් කින්ඩ්ල් උපාංගයේ තෙතමනයෙන් හානි නොවන ගුණය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? සැබවින්ම කින්ඩ්ල් උපාංගයක් හරහා පොතක් කියැවීම සඳහා එළිමහනේ පොද වැස්සක් වුවද තවදුරටත් බාධාවක් නොවනු ඇත. ඔබට නාන කාමරයේ ටබ් එකේ නිස්කලංකව සිටිනා විටකදී පවා පොතක් කියැවීමට මෙය පහසුවෙන් භාවිත කිරීමට හැකි වනු ඇත.
මෙම නවතම Kindle Oasis සංස්කරණය වඩාත් විශාල අඟල් 7 ක තිරයක් සමගින් පැමිණෙන අතර, එහි විභේදනය 300ppi ප්‍රමාණයේ වේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් මේ හරහා පොතක් කියවීම, සැබෑ කඩදාසියක මුද්‍රිත දෑ කියවීමට වඩාත් සමාන වනු ඇත. එසේම මෙහි තිරයේ දිළිසීම කොහෙත්ම නැති අතර, එනිසා සෘජු දැඩි හිරුඑළිය මධ්‍යයේ වුවත් පහසුවෙන් කියැවීමට හැකියාව ලැබෙනු ඇත.
පසුගිය වසරේ නිකුත් වූ මෙම Kindle Oasis උපාංගයේ ආරම්භකයා සේම මෙයද සැහැල්ලු, සිහින් නිමාවකින් යුක්ත වන අතර, එක් පසක වඩාත් අතට හසුවන ලෙසින් පුළුල් වූ දාරයකින් නිමා වී ඇත. එසේම ඔබ වමත් හෝ දකුණත් වුවත් එම පුළුල් දාරය ඇති පස ඔබට පහසු පැත්තකට එන ලෙසින් තබාගෙන කියැවිය හැකි අතර, ඊට අනුකූලව මෙම කින්ඩ්ල් උපාංගය එහි තිරය වෙනස් කරගනු ඇත. මෙයට අමතරව මෙම නවතම Kindle Oasis සංස්කරණයට ඇමසන් සමාගම මගින් වඩාත් වැඩි LED ආලෝකයන් ප්‍රමාණයක් ඇතුළත් කර ඇතැයි අසන්නට ලැබේ.
මෙම Kindle Oasis උපාංගයේ මුල් සාමාජිකයාගේ මෙන් පසුපස ප්ලාස්ටික් පුවරුවක් නොව, මෙහි ඇත්තේ වඩාත් සවිමත් ඇලුමිනියම් පසුපස පුවරුවකි. එසේම මෙහි බැටරියේ ධාරිතාවද නව සංස්කරණයට පැමිණෙන විට වඩාත් ඉහළ ගොස් තිබෙනා බව දැකිය හැක. එනම් එක් ආරෝපණයකින් සති හයක් පමණ කාලයක් ඔබට මෙය භාවිත කිරීමට හැකියාව තිබෙනු ඇත. එසේම මෙහි මුල් නිර්මාණයේ මෙන්ම මෙහිද පිටු පෙරළීම සඳහා වඩාත් පුළුල් දාරය මත බොත්තම් දෙකක් පිහිටුවා ඇති අතර, අවශ්‍ය නම් ඒ සඳහා ස්පර්ශ තිරය භාවිත කිරීමේද කිසිදු ගැටළුවක් නොමැත. මෙයට අමතරව යාවත්කාලීන කළ ඇමසන් කින්ඩ්ල් මෘදුකාංගයද ඔබට නවතම හැකියාවන් සහ පහසුකම් ගණනාවක් හඳුන්වා දෙනු ඇත. ඔබේ පොත්වල තබාගන්නා සටහන් ඊමේල් වෙතට ගෙන ඒම මෙන්ම ශබ්දකෝෂය හා බැඳි ස්මාට් ලුක්-අප් පහසුකම ඉන් කීපයකි.
මෙයට අමතරව ඔබට ඕඩියෝ බුක් සඳහා සවන් දීමටද හැකි ආකාරයෙන් නවතම යෙදුමක් මෙහි අන්තර්ගත කොට තිබේ. මේ නිසාවෙන්ම මෙහි මතකය 8GB දක්වා වැඩි කර තිබෙනා අතර, අවශ්‍ය නම් ඔබට 32GB සංස්කරණයක්ද මිලදී ගැනීමට හැකියාව තිබේ. කෙසේ නමුත් ඔබට ඕඩියෝ බුක් කියැවීම සඳහා හෙඩ්ෆෝන් යුවළක් සම්බන්ධ කළ හැකි 3.5mm ජැක් එකක් මෙහි නොමැති අතර, ඒ වෙනුවට මෙහි බ්ලූටූත් හැකියාව මගින් ඔබට බ්ලූටූත් ස්පීකරයකට හෝ බ්ලූටූත් හෙඩ්සෙට් උපාංගයකට සම්බන්ධ වී ඕඩියෝ බුක් ඇසීමට සිදුවනු ඇත.
ඇමසන් වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරයට මෙම නවතම Kindle Oasis සංස්කරණයේ මිල රුපියල් 38,000කට මඳක් අඩු වනු ඇත. ඊ - බුක් රීඩරයකට එතරම් මුදලක් වැය කළ යුතුදැයි යමෙකු අසන්නට හැකි වුවත්, සමගින් ලබාදෙන නවතම විශේෂාංගයන් සහ නිමාව සමගින් එම මුදල අපතේ නොයන බව අපගේ හැඟීමයි.