ලෝකයේ පරිගණක යන්ත්‍රයන්ට ඉහළ මට්ටමක සෞන්දර්යයක් හඳුන්වා දෙනු ලැබුවේ ඇපල් සමාගම බව අවිවාදිතය. එසේ වුවත් එම උරුමය පවත්වාගෙන යෑම සඳහා තවදුරටත් ඇපල් සමාගම වෙත පූර්ණ අයිතියක් නැත. මිනිසාගේ නිර්මාණශීලීත්වය තුළින් සුවිශිෂ්ට නිර්මාණයන් බිහි කිරීමට උර දෙන්නා වූ, එසේම නවීනත්වය හා සෞන්දර්යය එක්තැන් කළා වූ පරිගණක යන්ත්‍ර නිර්මාණය කිරීමට වෙනත් සමාගම්ද පෙළ ගැසී සිටී. මෙහි නවතම ජයග්‍රාහකයෙකු වන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමයි.
තවමත් වෙළෙඳපොළට පැමිණ නැති, පෙර ඇණවුම් සඳහා පමණක් විවෘතව තිබෙනා මෙම Microsoft Surface Studio උපාංගය සම්බන්ධයෙන් දෙයාකාරයක මත මේ වනවිට අසන්නට ලැබේ. ඉන් එකක් වන්නේ මෙය all-in-one Windows PC එකක් නොව, හොඳ පෙනුමක් සහ තැන් පිහිටීම වෙනස් කළ හැකි මොනිටරයක් සහිත පරිගණකයක් මිසක් ඉන් එහා ගිය යමක් නොවන බවයි. කෙසේ නමුත් තවත් බොහෝ දෙනෙකු පවසා සිටින්නේ මෙය අනාගතය සඳහාම සැලසුම් කර ඇති, all-in-one ආකාරයේ පරිගණකයක් බවයි.
විශේෂයෙන්ම නිර්මාණකරණයේ යෙදෙන්නවුන්ට මනා පිටිවහලක් වීමේ අභිප්‍රාය ඇතිව සැලසුම් කර ඇති මෙම Microsoft Surface Studio උපාංගයට අඟල් 28 ක PixelSense™ තිරයක් තිබේ. මෙය 10-point multi-touch පහසුකම සහිත ස්පර්ශ තිරයකි. මෙය සාමාන්‍ය පුද්ගල පරිගණකයක තිරයට වඩා ප්‍රමාණයෙන් විශාල යැයි හැඟුනත් සැබවින්ම මෙහි තිර ප්‍රමාණයත්, එම තිර ප්‍රමාණය අසීරුතාවක් නොවනා ලෙසට මෙය හුරුබුහුටි අන්දමින් හැසිරවීමට ලබාදී ඇති හැකියාවත් නිසා එය ගැටළුවක් නොවනු ඇත.
මෙය ඔබට සාමාන්‍ය තිරයක් ලෙසින් භාවිතා කිරීමට, විවිධ කෝණයන්ට ඇල කරමින් චිත්‍රක පුවරුවක් ලෙසින් භාවිතා කිරීමට පමණක් නොව සම්පූර්ණයෙන්ම ටැබ්ලට් උපාංගයක් ලෙසින් භාවිතා කිරීමට පවා හැකිවේ. මෙසේ තිරය ඇවැසි ලෙසට ආනත කිරීමේදී කිසිදු බරක් හෝ අපහසුතාවයක් පරිශීලකයාට ඇති නොවන ආකාරයට මෙහි පාදම සහ අල්ලු නිමකොට ඇත. එසේම මෙහි ඝනකම මිලිමීටර් 12.5 ක් පමණක් වීම නිසා එය ලොව සිහින්ම LCD මොනිටරය වීමටද බැරි නැත.
එසේම මෙහි දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් කථා කිරීමේදී එය ඕනෑම නිර්මාණකරුවෙකුගේ සිහින සැබෑවීමක් යැයි කීම වැරදි නොවේ. ප්‍රොසෙසරය සම්බන්ධයෙන් කථා කිරීමේදී මෙය 6th Generation Intel® Core™ i5 හෝ i7 යන සංස්කරණයන්ගෙන් පැමිණෙන අතර, Windows 10 Pro මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතව පැමිණේ. ඔබට මෙහි අභ්‍යන්තර මතක ධාරිතාවය 1TB හෝ 2TB ලෙසින් තෝරාගැනීමට හැකියාව තිබෙන අතර Rapid Hybrid Drive දෘඩ තැටි තාක්ෂණය මේ සඳහා යොදාගෙන තිබේ. රැම් මතකයද 8GB, 16GB, හෝ 32GB යන තෝරාගැනීම් සමගින් පැමිණේ.
මෙහි NVIDIA® GeForce® GTX 965M 2GB GDDR5 හෝ NVIDIA® GeForce® GTX 980M 4GB GDDR5 වීඩියෝ ප්රොසෙසරයන්ද තිබේ.
මෙයට USB 3.0 port 4 ක් අයත් වන අතර, Mini DisplayPort එකක්, 3.5mm Audio jack එකක්, 1 Gigabit Ethernet port එකක් Microsoft Surface Studio උපාංගය සමගින් ස්ථාපිතව පැමිණේ. එසේම මෙයට Wi-Fi, Bluetooth හෝ Xbox රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන්ද ලබාදී තිබේ.
එසේම ඔබට උපාංගය සමගින් සුවිශේෂී හැකියාවන් ගොන්නක් සමගින් පැමිණෙන Surface Pen එකක්, Surface යතුරු පුවරුවක්, Surface මවුසයක් සහ තවත් අංගෝපාංගද ලැබෙනු ඇත.
මෙම Microsoft Surface Studio පරිගණකය මූලිකවම නිර්මාණය කොට ඇත්තේ නිර්මාණ කාර්යයන්හි යෙදෙන්නන්ට මනා පහසුවක් හා සහායක් සැපයීමට වුවත්, මෙය කාර්යාලීය පරිගණකයක් ලෙසින් හෝ පරිගණක ක්‍රීඩා සඳහා වෙන්වූ පරිගණකයක් ලෙසින් භාවිතා කිරීමටද එකසේ හැකියාව තිබේ. ඒ සඳහා වන දෘඩාංග හැකියාවන් මේ තුළ පහසුවෙන්ම පවතී.
කෙසේ නමුත් ඉහළම ශක්‍යතා සැකසුම් සහිත Microsoft Surface Studio සංස්කරණය වුවත් පෙර ඇණවුම් කිරීමේදී ශ්‍රී ලංකාවේ මුදලින් ලක්ෂ කිහිපයක් වීම නිසාවෙන්ම ශ්‍රී ලංකාවේ මට්ටමින් බැලූ විට මෙය පුද්ගල පරිගණකයක් ලෙසින් ලබාගැනීම සැබවින්ම අනවශ්‍ය වියදමක් බවට එකඟ වීමට සිදුවේ. එනමුත් නිර්මාණ කාර්යයන් සඳහා ප්‍රබල සහ පහසු පරිගණකයක් මිලදී ගැනීමට සොයන්නෙකුට මෙම මුදල ආයෝජනයක් වනු ඇත.