සංගාගේ වාර්තාව කෝලි බිඳ දමයිද?


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසරකදී ලබාගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මීට වසර 03කට පෙර පිහිටුවා තිබූ වාර්තාගත කඩඉමක් බිඳ දැමීමට ඉන්දීය නායක විරාට් කෝලි ආසන්නයට පැමිණ සිටියි.

සංගක්කාර 2014 වර්ෂයේදී ජාත්‍යන්තර ලකුණු (ටෙස්ට්, එක්දින, විස්සයි20) 2868ක් රැස්කිරීමට සමත් වූ අතර, එය බිඳ දැමීම ආසන්නයට පැමිණ සිටින කෝලි 2017 වර්ෂයේදී මේ වනවිට ජාත්‍යන්තර ලකුණු 2818ක් ලබා සිටියි. ඒ අනුව සංගක්කාරගේ කඩඉම පසුකිරීමට ඔහු තවත් ලකුණු 50ක් පමණක් පසුපසින් සිටින අතර, ඒ සඳහා කෝලිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 03 බැගින් සමන්විත වූ එක්දින හා විස්සයි20 තරගාවලිය ප්‍රමණවත් වනු ඇත. ශ්‍රී ලංකාව සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදීද කෝලි ලකුණු 610ක් රැස්කිරීමට සමත් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මේ දක්වා වසරක් තුළ ලකුණු 2000 සීමාව අවස්ථා 73කදී පසුකර ඇති අතර, ඒ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පස් දෙනෙකු සිටියි. මෙහිදී කුමාර් සංගක්කාර (2014-2868, 2009 -2436, 2011- 2267, 2012- 2148, 2004 -2124) හා මහේල ජයර්ධන (2001 -2313, 2007-2230, 2006 -2179, 2009 -2094, 2014 -2007) අවස්ථා 05 බැගින්ද, ඇන්ජලෝ මැතිව්ස් (2014/2692), තිලකරත්න ඩිල්ෂාන් (2009/2568), සනත් ජයසූරිය (1997/2449) හා අරවින්ද ද සිල්වා (1997/ 2432) එක් අවස්ථාව බැගින්ද මෙම කඩඉම පසුකර ඇත.

වසරකදී වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස්කළ පිතිකරුවන්  දසදෙනා

ක්‍රීඩකයා වසර      ඉනිම්      ලකුණු     වැ.ල.     සාමාන්‍ය  100  50

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)   2014       57   2868      319  53.11      8       18

රිකී පොන්ටිං (ඔස්ට්‍රේලියාව)       2005      58   2833      207 56.66     9       15

විරාට් කෝලි (ඉන්දියාව)      2017       52   2818       243 68.73     11    10

කේන් විලියම්සන් (නවසීලන්තය) 2015       46   2692      නොදැවී 242       65.65     8    14

ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව)  2014       59   2687      160  65.53     4       17

රිකී පොංටින් (ඔස්ට්‍රේලියාව)       2003      49   2657      257 66.42     11       8

රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව)     1999       62   2626      190  46.89     10   9

කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)   2006      55   2609      287 52.18      5       16

විරාට් කෝලි (ඉන්දියාව)      2016       41    2595      235 86.50     7    13

සෞරව් ගංගුලි (ඉන්දියාව)  1999       60   2580      183  47.77     6    17        

393975-kohli-sanga-test-talk-700



Recommended Articles