තරංග පරදා දසුන් පෙරමුණට - මාලිංග අසාර්ථකයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර දසුන් ශානක පෙරමුණ ගෙන ඇති අතර වැඩිම කඩුලු ලබාගත් ක්‍රීඩකයන් අතර කසුන් රාජිත පෙරමුණේ පසුවෙයි.
තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවූ උපුල් තරංග අභිභවා යමින් දසුන් මෙසේ පෙරමුණට පැමිණියේ ඊයේ පැවැති තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලකුණු 105ක් නොදැවී රැස්කරගනිමිනි.
දසුන් තරග 6කදී ලකුණු 312ක් රැස්කර ඇත්තේ තරගයක සාමාන්‍ය 78ක් ලෙස රඳවා ගනිමිනි. ඔහු ශතකයක් හා අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත්ව තිබේ. උපුල් තරංග තරග 5දී ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 310ක් රැස්කිරීමට සමත්ව ඇති අතර ධනුෂ්ක ගුණතිලක තෙවැනි ස්ථානයේ පසුවෙන්නේ තරග 6කදී ලකුණු 245ක් රැස්කරමිනි.
මෙම තරගාවලියේ ක්‍රීඩකයන් 15ක් ලකුණු 100 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ. එහිදී වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 113ක් රැස්කළ 10 වැනි ස්ථානයේ රැඳී සිටීම සුවිශේෂී වෙයි.
පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන කසුන් රාජිත තරග 6කදී කඩුලු 13ක් බිඳ හෙළීමට සමත්ව ඇත.චරිත් අසලංක කඩුලු 10ක් බිඳහෙලා දෙවැනි ස්ථානයේ පසුවෙයි. කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 10කි.
තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටි ක්‍රීඩකයා වන ලසිත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක විය. ඔහු තරග 6 කදී කඩුලු 3ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 69කි. පන්දු යවන්නන් 35ක් අතරින් මාලිංග 16 වැනි ස්ථානයේ පසුවෙයි.
ධනුෂ්ක ගුණතිලක (7), ධනංජයද සිල්වා (5) තුන් ඉරියව් ක්‍රීඩකයන් වශයෙන් මාලිංගට වඩා පන්දුවෙන් දක්ෂතා දැක්වීම කැපී පෙනේ.

popular news
-
Rizna Friday, 31 August 2018 03:18 PM
අසාර්ථක වුවා නොවේ , අනිත් එවුන් මෙයාගේ පන්දු හරියට රෙක්කේ නෙත. බොහෝ අවස්ථා වල ඔහු අඩුම එකොන් දල වේගයක් පවත්වා ගන්නට සමත් වුනු සාර්ථක ක්‍රීඩකයෙක් මාලිංග.
Reply : 0 0
Champa Friday, 31 August 2018 07:22 PM
මාලිංගව අසාර්ථකයි කියන්න ඕනේ කමින් කරන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
