ගාල්ල ක්‍රීඩාංගණය කඩලා දාන්න අපි ඉඩදෙන්නේ නැහැ
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාල්ල මහා නගර සභාවට අයිති වස්තුවක් බවත්, එහි ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ගාල්ල මහා නගර සභාව පවතින බවත් ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා 'අද' පුවත්පතට පැවසීය.
නගරාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ යෝජනාවක් සංස්කෘතික අමාත්‍යාංශයෙන් මේ වනවිට ඉදිරිපත්ව ඇති හෙයින් ඒ පිළිබඳව කළ විමසීමේදීය.
එමෙන්ම ඉදිරියේදී පවතින තත්ත්වය පිළිබඳව නගර සභාව දැනුවත් කර යෝජනාවක් සම්මත කරගන්නා බවත්, පුරාවිද්‍යා කොන්දේසි කඩකරමින් ගොඩනැගිලි ඉදිකර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
"අපේ ස්ථාවරය පැහැදිලියි. ගාල්ල ක්‍රීඩාංගණයේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ගාල්ල මහනගර සභාවටයි. මේ අය කඩන්න කියලා තීරණය කරපු ගාල්ල මහනගර සභාව මගින් පාලනය වන ක්‍රීඩා මණ්ඩපයක් තිබෙනවා. ඒක අපි 2007/03/21 දින සැලසුමක් අනුමත කරලා තිබෙනවා. එවකට හිටපු නාගරික කොමසාරිස් ඒකට අත්සන් කරලා තිබෙනවා. ඒ සැලසුම අපි ළඟ තියෙනවා. එහි යම් කොන්දේසි කිහිපයක් තිබෙනවා. ඒ කොන්දේසිවලට යටත්ව තමයි අපි සැලසුම අනුමත කළේ.
තව එකක් තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ පාලනය වන මාධ්‍ය ගොඩනැගිල්ල කියලා. ඒක 2004/12/17 හිටපු නගරාධිපති කෙනෙක් වන ඉස්මයිල් මහතා අත්සන් කරලා ඒ සැලසුමත් අනුමත කරලා තියෙනවා. හැබැයි මේ සියල්ල සිදුවෙලා තියෙන්නේ කොන්දේසිවලට යටත්ව.
එතකොට මෙතැන තියෙන හැම ගොඩනැගිල්ලකටම සැලසුමක් තියෙනවා. සැලසුමක් නැති ගොඩනැගිලි හදලා නැහැ. හැම එකක්ම සැලසුමක් දාලා නගර සභාවෙන් අනුමත කරලා තියෙනවා. සමහර විට ඔවුන් කොන්දේසි ඉටුකරලා නැතිවෙන්න පුළුවන්. එහෙම වුනත් අපිට කඩන්න අයිතියක් නැහැ. ඒ සඳහා නගර සභාවේ ක්‍රමවේදයක් තියෙනවා. මේ වගේ දෙයක් කැඩීමට පෙර නඩු දමලා තීන්දුවක් ගත යුතුයි. නඩුවකින් තමයි ඒ දේ කරන්න ඕන. එනිසා ඒ ක්‍රමවේදවලට නොගිහින් කඩන්න අපි ඉඩදෙන්නේ නැහැ. ගොඩනැගිලි ඉවත් කරනවා නම් ඒ අයිතියත් තියෙන්නේ නගර සභාවටයි.
අනෙක් කරුණ ගාල්ල ක්‍රීඩාංගණ භූමිය අයිතිත් නගර සභාවටයි. කාගේවත් තීන්දුවලින් ගාල්ල ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි ඉවත් කරන්න බලයක් නැහැ. අනික මේ සැලසුම් ඔක්කොම අනුමත කරලා තියෙන්නේ අපේ නමින්මයි. ගාල්ල ක්‍රීඩාංගණයේ තරග පවත්වන්න වෙනත් ස්ථානයක ක්‍රීඩාංගණයක් ඉදි කරන්න කියලා අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් සිදුවුණේ නැහැ. අපිට ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතත් නැතත් ඒ කාලේ ඉඳලා ක්‍රීඩා කරපු ක්‍රීඩා පිටියක්. ඒ කාලෙත් ක්‍රීඩා මණ්ඩපයක් මේකේ දිගටම තිබුණා. පසුව නවීකරණය කරලා හදපු ඒවා තමයි දැන් තියෙන්නේ.
අපිට හිතාගන්න බෑ ඇයි මෙහෙම දෙයක් වුණේ කියන එක සම්බන්ධයෙන්. මොකද කිසිම හේතුවක් නැතුව කඩිමුඩියේ මෙහෙම දෙයක් ආවේ ඇයි කියලා. කලින් තොරතුරු තිබුණා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේකේ තියෙන ගොඩනැගිලිවල උස සම්බන්ධයෙන් ගැටලු තිබුණා කියලා. එහෙම නම් අපිත් එක්ක සාකච්ඡාවකට එන්න ඕන. අපි අනුමත කළ සැලසුම්වලට පටහැණි දෙයක් කරලා තියෙනවා නම් අපි ඒ පිළිබඳව සොයා බලනවා. පුරාවිද්‍යා එකෙන් දාපු සමහර කොන්දේසි කඩලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.
'අද' පුවත්පතෙන් මේක දැනුවත් කරනකන් අපි නගර සභාව වශයෙන් මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් නගර සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනවා ඉදිරියේදී. දැනට පවතින තත්ත්වය ගැන මම සභාව දැනුවත් කළ යුතුයි. ක්‍රීඩාංගණ ඕන තැනක හදාගත්තට අපිට ගැටලුවක් නැහැ. නමුත් ගාල්ල ක්‍රීඩාංගණය ගාල්ල නගර සභාවට අයිති වස්තුවක්. ඒනිසා ක්‍රීඩාංගණය රැකගැනීමට අපි නිරතුරුව බැඳිලා ඉන්නවා. ඒ නිසා මේ ක්‍රීඩාංගණය නැති කරන්න, කඩලා බිඳලා දාන්න අපි කාටවත් ඉඩදෙන්නේ නැහැ" යැයි ගාල්ල නගරාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

-
Champa Thursday, 19 July 2018 09:39 AM
තේරෙන්නේ නැත්ද නගරාධිපතිතුමා, රනිල් සහ ඇමතිවරු ඊළඟ චන්දෙට සල්ලි හොයනවා කොමිස් ගහල. ඇලෝසියස් හිරේ හින්ද මහා බැංකු සල්ලි දැන් එන්නේ නැහැ. ඒ හින්ද මෙහෙම තමයි සල්ලි හොයන්නේ. මත්තල විකුණලා එක කොමිස් කුට්ටියක් on the way. දෙන්න එපා ගාලු පිට්ටනිය විනාශ කරන්න. ඕක බොරු හේතුවක්. අහු වෙන්න එපා. ඔව් ඇත්ත කතාව "අද" කිව්වේ නැත්නම් කවුරුවත් දන්නේ නැහැ.
Reply : 4 30
Chandana Thursday, 19 July 2018 02:31 PM
මේ 2007 දී උනෙස්කෝ එකට පොරොන්දු වෙච්ච දෙයක් , කඩිමුඩියේ නොවෙඉ , අවාසනාවට මේ ප්‍රවුර්ති වල මෙය වෙන්නේ මොකද කියල සදහන් කර නම් හොඳි
Reply : 1 13
chandana Thursday, 19 July 2018 02:37 PM
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් (අංජුල මහික වීරරත්න) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි. දකුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පැවැත්වීමට කොග්ගල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීමේ කටයුතු ඇරඹුණේද ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස සිටියදී බව නිගරික සංවර්ධන අධිකාරිය රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහිනද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට මීට පෙර යෝජනා කෙරුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම ඊට යොදා තිබීම නිසා එය වැලැක්වීම බවද එම වාරතාවේ සඳහන්ය. ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට නම් අදාළ මණ්ඩපය සම්පුර්ණයෙන් කඩා ඉවත් කළ යුතු බව යුනෙස්කෝ සංවිධාවය ද රජයට නිල වශයෙන් දැනුම්
Reply : 13 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

