කළුතර බ්ලූ ස්ටාර් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කරමින් සිය පළමු එෆ්.ඒ. කුසලාන ජය හිමි කරගැනීමට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04දා) පැවැති තරගයේදී පළමු අර්ධයේ පටන් කණ්ඩායම් දෙකම තරගකාරී ක්‍රීඩා විලාසයකින් ක්‍රීඩා කළ අතර ඒ හේතුවෙන් පළමු අර්ධය නිමාවට පත් වූයේ කණ්ඩායම් දෙකටම ගෝල රහිතවය.
දෙවැනි අර්ධයේ ආරම්භයේදීද කණ්ඩායම් දෙකම සිය ක්‍රීඩා තත්ත්වය ඉදිරියට ගෙන ගියද 68 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කොළඹ කණ්ඩායමේ ඩිලාන් මධුෂංක ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණ බලාපොරොත්තු කොළඹ කණ්ඩායමට රැගෙන දෙමිනි.
කෙසේ නමුත් 76 වැනි මිනිත්තුවේදී කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු රතු කාඩ්පතක් මගින් ඉවත් කිරීමට තරගයේ විනිසුරුවරයා ක්‍රියා කළද එහි වාසිය සිය කණ්ඩායමට ලබා ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩකයෝ අසමත් වූහ. ඒ අනුව තරගය අවසන් වූයේ ගෝල 1-0 ක් ලෙස තරගයේ ජය කොළඹ කණ්ඩායමට හිමි කරදෙමිනි.
බ්ලූ ස්ටාර් කණ්ඩායම මෙවර තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වතාවට වන අතර, පසුගිය වර්ෂයේදී පැවැති තරගාවලියේදී ඔවුන් යුද හමුදා කණ්ඩායම හමුවේ ගෝල 2-0 ක් ලෙසින් පරාජයට පත් විය.
කෙසේ වෙතත් යුද හමුදා කණ්ඩායම මෙවර තරගවලියේ අවසන් පූර්ව තරගයේදී කොළඹ කණ්ඩායම අතින් පරාජයට පත්වීම විශේෂත්වයකි.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට පිදෙන රන් ගෝලය (Golden Goal) සම්මානය හිමි කරගැනීමට කොළඹ පාපන්දු කණ්ඩායමේ ඩිලාන් මධුෂංක සමත් විය. එහිදී පිරිනමන ලද අනෙකුත් ඒකළ සම්මාන අතරින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට පිදෙන රන් සපත්තුව (Golden Boot) සම්මානය සෝන්ඩර්ස් කණ්ඩායමේ ඩිලාන් කෞෂල්යටද දක්ෂතම දැල් රකින්නාට හිමි වන රන් අත් ආවරණය (Golden glove) සම්මානය කළුතර ක්‍රීඩා සමාජයේ මංජුල ප්‍රනාන්දුටත් හිමි වූහ.
මීට අමතරව තරගාවලියේ හොඳම විනිසුරු සඳහා පිදෙන රන් නලාව (Golden whistle) සම්මානය හිමි එම්.එස්. ඉර්ෂාන්ට හිමි විය.
අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, කාගීල්ස් ෆුඩ් සිටි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිලානෝ ඩයස්, එහි සාමාන්‍යාධිකාරී සංජීව ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.